හැබැයි සල්ලි පරිස්සම් කරන්න ගිහින් අන්තිමේදී තමන්ට තිබුණු මුළු මුදලම අහිමි කරගත්තු අමුතුම විදියේ කණගාටුදායක පුවතක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඉන්දියාවේ රාජස්ථාන් හි බලෝත්‍රා දිස්ත්‍රික්කයේ පච්පද්‍රා අසල නෙවායි ගම්මානයේ පදිංචි මංඟිලාල් මේඝ්වාල් නැමැති ගොවියෙක් මීට වසරකට පමණ පෙර තමන්ගේ ඉඩමක් විකුණා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන තිබෙනවා. හැබැයි මේ මුදල නිවසේ තැබුවොත් සොරකම් කරයි කියලා හෝ තමන්ගේ පුතුන් විසින් වියදම් කරයි කියලා බිය වුණු ඔහු, අපූරු තීරණයක් ගත්තා. ඒ, කාටවත් නොකියා මේ මුදල පොලිතීන් බෑගයක දමා තමන්ගේ කුඹුරේ වලදැමීමටයි. මේ ගැන ඔහු තමන්ගේ බිරිඳටවත්, දරුවන්ටවත් පවසා තිබුණේ නැහැ.
මාස කිහිපයකට පසු තමන්ගේ ගොවිපළේ කාමරයක් තැනීමට මුදල් අවශ්‍ය වූ විට, ඔහු මුදල් ලබාගැනීමට කුඹුරට ගියත් අවාසනාවකට මෙන් ඔහුට මුදල් වලදැමූ ස්ථානය හරියටම මතකයේ තිබී නැහැ. මුළු කුඹුර පුරාම හෑරුවත් මුදල් සොයාගැනීමට නොහැකි වූ තැන, ඔහු අවසානයේ මේ ගැන තමන්ගේ පවුලේ අයට පවසා තිබෙනවා. මුලදී පවුලේ අය මේ කතාව විශ්වාස නොකළත්, පසුව පවුලේ සැවොම එකතු වී කුඹුර පුරා මුදල් සෙවුවත් එය සොයාගැනීමට හැකිවුණේ නැහැ.
කෙසේ වෙතත් වසරකට ආසන්න කාලයකට පසු, මෝසම් වැසි සමයේදී අදාළ මුදල් අඩංගු හානියට පත් බෑගය කුඹුරේ පස් අතරින් මතු වී තිබෙනවා. පවුලේ අය ඉතාමත් ආශාවෙන් ඒ බෑගය විවෘත කර බැලූ විට ඔවුන් දුටුවේ අදහගැනීමටත් බැරි දර්ශනයක්. ඒ වන විටත් බෑගය තුළ තිබූ නොට්ටු මිටිවලට වෙයන් ආසාදනය වී මුදල් නෝට්ටු සම්පූර්ණයෙන්ම වගේ විනාශ වී තිබුණා.
වෙයන් හානි කළ මුදල් නෝට්ටු එකතු කරගත් පවුලේ අය, නැතිවූ මුදලින් අවම වශයෙන් කොටසක් හෝ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් පච්පද්‍රා හි පිහිටි ඉන්දියානු රාජ්‍ය බැංකු ශාඛාව වෙත ගොස් තිබෙනවා. නමුත් බැංකු නිලධාරීන් අදාළ නෝට්ටුවල තත්ත්වය පරීක්ෂා කර තක්සේරු කිරීමෙන් පසු, එම නෝට්ටු හුවමාරු කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අන්තිමේදී හොරුන්ටයි, පුතුන්ටයි බයේ සල්ලි පරිස්සම් කරන්න ගිය ඒ අසරණ ගොවියාට සිදුවුණේ තමන්ගේ ලක්ෂ 5ක මුදල වෙයන්ට බිලි දීලා නිකන්ම බලාගෙන ඉන්නයි.