දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ බකමූණ, දමනයාය ප්‍රදේශයේදී අද (11) අලුයම අතිශය කණගාටුදායක රිය අනතුරක් සිදුවෙලා තියෙනවා.
මෙම දරුණු අනතුරින් එකම පවුලේ මවක් සහ ඇගේ පුත්‍රයාට අවාසනාවන්ත විදිහට තමන්ගේ ජීවිත අහිමි වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි මවක් සහ ඇගේ 43 හැවිරිදි පුත්‍රයායි. වාර්තා වන ආකාරයට මෙම පවුලේ පිරිස කළුන්දෑව ප්‍රදේශයේ පැවති උපන් දින සාදයකට සහභාගි වී නැවතත් නිවස බලා යමින් සිටියදී තමයි මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීලා තියෙන්නේ.
කොයිකාගෙත් හිත් කම්පා කරන කාරණාව වෙන්නේ, මේ අනතුර සිදුවන වෙලාවේ යතුරුපැදියේ ගමන් කළ මියගිය පුද්ගලයාගේ අවුරුදු එකහමාරක පුංචි දරුවාත් මේ අනතුරින් බරපතල තුවාල ලබා තිබීමයි. මේ වනවිටත් ඒ කුඩා දරුවා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අදාළ පෞද්ගලික මගී බස් රථය කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වෙමින් තිබී ඇති අතර, ඊට ඉදිරියෙන් ගමන් කළ මෙම යතුරුපැදිය දමනයාය ප්‍රදේශයෙන් හැරවීමට යාමේදී බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවෙලා තියෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරුව බකමූණ පොලිසිය විසින් මේ වෙද්දිත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොහොම වුණත් එක නිමේෂයකින් සිදුවුණු මේ අනතුර නිසා ජීවිත දෙකක් අහිමි වෙලා, අවුරුදු එකහමාරක ඒ කිරිසප්පයාට ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ දෙන්න වෙලා තියෙන එක නම් කාගෙත් හිත් සසල කරන පුවතක්.