උන්වහන්සේ එහිදී දැඩිව අවධාරණය කරන්නේ සාන්ත සභා ඉගැන්වීම්වලට අනුව කිසිදු ආකාරයකින් මරණීය දණ්ඩනය පැනවීමකට එකඟ විය නොහැකි බවයි.
කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදය උපුටා දක්වමින් කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ මරණීය දණ්ඩනය කිසිසේත්ම පිළිගත නොහැකි කරුණක් බවයි.
මරණ දණ්ඩනයට විරුද්ධ වුවත්, අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් සභාවේ ස්ථාවරය වෙනස් වී නැහැ. පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් ඇතුළු සියලුම වගකිවයුතු පාර්ශවයන් හෙළිකරගත යුතු බව උන්වහන්සේ මෙහිදී නැවතත් සිහිපත් කර තිබෙනවා. ඒ වගේම, රටේ නීතියට අනුව වින්දිතයින්ට යුක්තිය ඉටුකර දීම සඳහා අඛණ්ඩවම පෙනී සිටින බවද කොළඹ අගරදගුරු පදවිය වෙනුවෙන් උන්වහන්සේ තවදුරටත් අවධාරණය කළා.
"අධිකරණයට අපේ උපරිම විශ්වාසය තියෙනවා"
බලයේ සිටින බලධාරීන් මෙවැනි ඛේදවාචකයන් යළි කිසිදිනෙක කිසිවෙකුට හෝ සිදුවීම වළක්වා ගැනීමට නිරන්තරයෙන්ම වගකීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දෙන කාදිනල් හිමියන්, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය කෙරෙහි තමන් වහන්සේ පූර්ණ විශ්වාසය තබන බවද ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම අධිකරණයේ තීරණවලට හෝ ක්‍රියාවලීන්ට කිසිදු ආකාරයකින් බලපෑම් කිරීමට හෝ මැදිහත් වීමට තමන් වහන්සේ සූදානම් නැති බවත් මෙම නිවේදනයේ විශේෂයෙන් සඳහන්.