අභ්‍යවකාශයේ වසරකට වැඩි කාලයක් අතරමං වෙලා පාවෙමින් තිබුණු ඉලෝන් මාස්ක්ගේ SpaceX සමාගමට අයිති Falcon 9 රොකට්ටුවක කොටසක් අද (අගෝස්තු 05) සඳ මතට කඩා වැටෙන්න නියමිතයි කියලා තමයි අලුත්ම ආරංචි මාර්ග කියන්නේ.
මේක නිකම්ම යකඩ කෑල්ලක් නෙවෙයි.. හරියටම බස් එකක් විතර ලොකු, කිලෝ 4000ක් (ටොන් 4ක්) විතර බර දැවැන්ත කොටසක්!. මේ රොකට් කෑල්ල පැයට කිලෝමීටර 8,690 ක (පැයට හැතැප්ම 5,400ක) විතර අතිවිශාල වේගයකින් සඳේ බටහිර පැත්තේ තියෙන "අයින්ස්ටයින්" (Einstein Crater) කියන ආවාටය කිට්ටුවට තමයි කඩාගෙන වැටෙන්න යන්නේ. මේ හැපෙන වේගෙට සඳ මත මීටර 17 - 27 ත් අතර (අඩි 60 - 90ක් විතර) පළල, මීටර 5ක් විතර ගැඹුර අලුත් ආවාටයක් හැදෙයි කියලයි විද්‍යාඥයින් ගණන් හදලා තියෙන්නේ.
2025 ජනවාරි මාසේ සඳට යවපු විශේෂ මෙහෙයුමකින් පස්සේ තමයි මේ රොකට් එකේ ඉහළ කොටස (Upper stage) මේ විදිහට පාලනයෙන් තොරව අභ්‍යවකාශයේ පාවෙන්න පටන් අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් මේවා නැවත පෘථිවියට ගේන්න හෝ විනාශ වෙන්න සලස්වනවා වුණත්, සූර්ය ක්‍රියාකාරකම් සහ ගුරුත්වාකර්ෂණ බලපෑම් නිසා මේකේ ගමන් මාර්ගය වෙනස් වෙලා සඳ පැත්තට හැරිලා තියෙනවා.
කොහොම වුණත් මේකෙන් පෘථිවියට නම් කිසිම අනතුරක් නැහැ කියලයි නාසා (NASA) ආයතනය කියන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ කඩා වැටීමෙන් සඳේ දූවිලි වලාකුළක් අභ්‍යවකාශයට විසිවෙනවා වගේම, ඒ දිහා බලාගෙන අලුත් විද්‍යාත්මක පරීක්ෂණ කරන්නත් ලෝකේ වටේම ඉන්න තාරකා විද්‍යාඥයින් ලොකු සූදානමකින් ඉන්නේ.
මිනිස්සු හදපු දේවල් මේ විදිහට අභ්‍යවකාශයේ "කුණු ගොඩවල්" (Space junk) වගේ එකතුවෙලා වෙනත් ග්‍රහලෝකවල හැපෙන එක ගැන නම් ගොඩක් දෙනෙක් දැන් කනස්සල්ලෙන් කතා වෙන්න පටන් අරන්.