ඉස්සර වගේ කළු ලෑල්ලෙ හුණු කූරෙන් ලිය ලිය ඉන්න කාලේ දැන් ඉවර වෙන්න ළඟයි. මේ වෙනකොටත් ලංකාව පුරාම තියෙන පාසල් ඩිජිටල්කරණය කරන්න සුපිරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියලා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න අහපු ප්‍රශ්නෙකට උත්තර දෙමින් තමයි අගමැතිනිය මේ සුපිරි ආරංචිය රටටම කිව්වේ. ඒ අනුව දිවයින පුරා පාසල්වලට අලුත්ම අලුත් 'සුහුරු පුවරු' (Smart Boards) 4,570ක් බෙදාහරින්න මේ වෙද්දිත් පියවර අරගෙනලු තියෙන්නේ!
2024 අවුරුද්දේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා ගෙනාපු ස්මාර්ට් බෝඩ් 1,000 දැනටමත් පාසල් 1,000කට දීලා ඉවරයි.
ඊට අමතරව චීන ආධාර යටතේ ලැබුණු බෝඩ් 900න් 500ක්ම මේ වෙද්දි ඉස්කෝලවලට යවලා, ඒවයි සවිකිරීමේ කටයුතුත් ජයටම කෙරීගෙන යනවා.
ඒ මදිවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් තවත් ස්මාර්ට් බෝඩ් 2,670ක් පළාත් මට්ටමින් බෙදාහරින්නත් ඔන්න කටයුතු ලෑස්ති කරලලු තියෙන්නේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් දෙන බෝඩ් වලින් වැඩිම ප්‍රමාණයක්, ඒ කියන්නේ ස්මාර්ට් බෝඩ් 524ක්ම ලැබිලා තියෙන්නේ වයඹ පළාතටයි. ඊට පස්සේ බස්නාහිරට 481ක්, නැගෙනහිරට 371ක්, ඌව පළාතට 363ක්, දකුණට 311ක්, උතුරු මැදට 200ක්, මධ්‍යම පළාතට 170ක්, සබරගමුවට 150ක් සහ උතුරු පළාතට බෝඩ් 100ක් විදිහට මේවා බෙදිලා යනවා.
කොහොම වුණත් අපේ රටේ දරුවන්ට අලුත් තාක්ෂණය සමීප කරලා, පන්ති කාමර ටික නවීන විදිහට හැඩගන්වන මේ වැඩේ නම් ඇත්තටම අගය කරන්න ඕනේ දෙයක්.