ලෝකයේ ලාබාලතම ස්වයං-උත්සාහයෙන් බිහි වුණු බිලියනපතියා වෙන 28 හැවිරිදි ඇලෙක්සැන්ඩර් වැන්ග් (Alexandr Wang), අනාගතය ජයගන්න හදන තරුණ පරපුරට හිතාගන්නවත් බැරි අමුතුම උපදෙසක් දීලා තියෙනවා.
ඔහු කියන විදිහට, තරුණ පරපුර තවදුරටත් පැය ගණන් නිදි මරාගෙන, සම්ප්‍රදායික පරිගණක භාෂා (Programming Languages) කටපාඩම් කරමින් කේත (Code) ලියන එක දැන් තේරුමක් නැති වැඩක්ලු! ඒ වෙනුවට දැන් ප්‍රගුණ කරන්න ඕනේ 'Vibe-Coding' කියන අලුත්ම ට්‍රෙන්ඩ් එක බවයි ඔහු කියන්නේ. ලෝක ප්‍රකට මෙටා (Meta) සමාගමේ ප්‍රධාන AI නිලධාරියා විදිහටත් කටයුතු කරන මේ තරුණ බිලියනපතියා අනතුරු අඟවන්නේ, තව අවුරුදු පහක් යද්දී කේතකරණ ලෝකයේ බරපතළ පෙරළියක් වෙනවා කියලයි.
මෙහෙම හිතන්නකෝ... කිසිම කෝඩින් දැනුමක් නැති කෙනෙක්ට, තමන්ට ඕනේ ඇප් එක හරි වෙබ්සයිට් එක හරි ගැන සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් (Plain English) විස්තර කරලා ඒක නිර්මාණය කරගන්න පුළුවන් නම්? අන්න ඒක තමයි Vibe-Coding කියන්නේ! Replit, Cursor වගේ අලුත්ම AI ටූල්ස් පාවිච්චි කරලා දැන් මේ වැඩේ ගේමක් නැතුව කරන්න පුළුවන්. දන්නවද වැඩේ? ගූගල් ලොක්කා සුන්දර් පිචායි පවා මේ ළඟදී කිව්වා ඔහුත් මේ ක්‍රමයෙන් වෙබ් අඩවියක් හැදුවා කියලා!
වැන්ග් කියන විදිහට දැන් වෙද්දිත් Google, Microsoft වගේ දැවැන්ත සමාගම් වල ලියවෙන කේත වලින් 30%ක්ම ලියන්නේ AI තාක්ෂණයෙන්ලු. ඔහු කියන අනාවැකිය තමයි, ඉදිරි අවුරුදු පහ ඇතුළත ඔහු මෙතෙක් ජීවිතයේ ලියපු කේතත් එක්කම ලෝකයේ කේත (Code) වලින් බහුතරයක් AI මඟින්ම ලියලා ඉවර කරයි කියන එක. ඒ නිසා අනාගතයේදී වැදගත් වෙන්නේ කෝඩ් කටපාඩම් කරන එක (Syntax) නෙමෙයි, AI එකත් එක්ක ගේම ගහන එක, එහෙමත් නැත්නම් AI මෙවලම් හරියට මෙහෙයවන එකයි. මෘදුකාංග ඉංජිනේරුවරයාගේ භූමිකාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නයි යන්නේ.
තමන්ගේ Scale AI සමාගම ආරම්භ කරලා ඒක ඩොලර් බිලියන 29ක දැවැන්ත වටිනාකමකට ගෙනාපු මේ 28 හැවිරිදි තරුණයා කියන්නේ, අවුරුදු 13ක විතර පොඩි ළමයෙක් දැන් ඉඳලම මේ AI පාවිච්චි කරලා Vibe-Coding කරන්න පැය 10,000ක් විතර පුහුණු වුණොත්, අනාගත රැකියා වෙළඳපොළේ රජෙක් වෙන්න පුළුවන් කියලයි. මොකද ඉස්සරහට ඉල්ලුම තියෙන්නේ තාක්ෂණික දැනුමට වඩා, ප්‍රශ්න විසඳන්න සහ AI එක්ක හරියට සන්නිවේදනය කරලා නිර්මාණශීලීව වැඩ කරන්න පුළුවන් අයටලු!