මහරගම නගර සභා පරිශ්‍රයේ පිහිටි මහජන පුස්තකාලයේ උඩු මහලේ පාඩම් කරමින් සිටි මෙම ශිෂ්‍යාව පිළිබඳව කිසිදු සොයා බැලීමකින් තොරව, එහි සේවය කළ නිලධාරීන් විසින් දොර ජනෙල් සියල්ල පිටතින් වසා දමා ගෙදර ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් මෙම දැරිය පැය භාගයකට ආසන්න කාලයක් අඳුරු පුස්තකාලය තුළ සිරවී දැඩි භීතියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 07 වැනිදා පැවැති මහරගම නගර සභාවේ මාසික රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීනී රසිකා ගුණසිංහ මහත්මිය විසින් මෙම සිද්ධිය ගැන තොරතුරු කියලා තියෙනවා...
"මේ සිසුවිය අවුරුදු 17 ක උසස් පෙළ කරන්න ඉන්න දියණියක්. මේ ළමයා උඩ තට්ටුවේ පාඩම් කර කර ඉඳලා තියෙනවා. පස්සේ මේ ළමයා ගෙදර යන්න ලෑස්ති වෙලා බෑග් එක අරගෙන පහළට එනකොට පුස්තකාලයේ දොර ජනෙල් වහලා ඒ නිලධාරීන් ගෙදර ගිහිල්ලා. ඊට පස්සේ කවුරුවත් පේන්න නැති නිසා ඒ ළමයා හොඳටම බය වෙලා කෑගහලා අඬලා.
මේ ළමයාගේ කෑගහන සද්දය පාරේ යන ළමයි දෙන්නෙකුට ඇහිලා තියෙනවා. ඒ ළමයි දෙන්නා කමිටු නගර සභාව ඇතුළට ඇවිත් නගර සභාවේ සිටි සේවකයන්ට කියලා තියෙන්නේ.
ඒ වෙලාවේ කම්කරුවෝ දෙන්නෙක් වහලෙන් පුස්තකාලය තුළට පැන්නා කියලා ඒ සිසුවිය කිව්වා. මේ සිසුවිය තවත් බයවෙලා. මේ ළමයා තවත් හයියෙන් කෑගහනකොට නගර සභාවේ කවුරුහරි යතුරක් අරගෙන ඇවිත් දොර ඇරලා තියෙනවා.
දොර ඇරියාට පස්සේ ඒ ළමයාව එළියට අරන් තියෙනවා. ඒ අරගත්තාම එතන සිටි කම්කරුවෙක් ඒ ළමයාව වීඩියෝ කරලා තියෙනවා. පස්සේ ඒ ළමයා අත් දෙකෙන් මුහුණ වහගෙන ඉඳලා තියෙනවා. ඒ වෙලාවේ ඒ ළමයා කොයිතරම් මානසික පීඩනයට පත්වෙන්න ඇති ද? සභාපතිතුමා මේ නිලධාරීන් තමන්ගේ වගකීම පැහැර හැරලා තියෙනවා."
මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ මහරගම නගර සභා සභාපති සමන් සමරකෝන් මහතා ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පරික්ෂණයක් පවත්වා නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන වාර්තාවක් කැඳවා ඇති බවයි. නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇති බවට ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව තදින්ම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීනී කාන්ති කොඩිකාර මහත්මිය සඳහන් කළේ, මහරගම නගර සභා පුස්තකාලය අද වන විට දරුවන්ට අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බැවින් දෙමාපියන් තම දරුවන් එහි පාඩම් කිරීමට යැවීමට පවා අකමැත්තක් දක්වන බවයි.