බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකුට සහ රැඳවියන් 22 දෙනෙකුට දිවි අහිමි කරමින් තවත් 100කට අධික පිරිසකට තුවාල සිදුකරපු මේ කුරිරු ගැටුම සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු රැසක් අද (07) අධිකරණයේදී එළියට ආවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කරන්න මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලානි පෙරේරා මහත්මියගෙන් අවසර ඉල්ලා තිබෙනවා. මේ අලුතින් එකතු වුණු 24 දෙනාත් එක්ක මේ වෙද්දි නඩුවේ මුළු සැකකරුවන් ගණන 62ක් දක්වා ඉහළ ගිහින්! මේ හැමෝම ගැටුම වෙලාවේ බන්ධනාගාරය ඇතුළේ හිටපු රැඳවියන් වීම විශේෂත්වයක්.
ආරක්ෂක හේතූන් මත මේ අලුත් සැකකරුවන්ගේ නම් එළිපිට කියන්න CID එක කටයුතු කළේ නැහැ. ඔවුන් ඒ ලැයිස්තුව (බී වාර්තාව) රහසිගතව මහේස්ත්‍රාත්වරිය අතට පත් කළා.
අද දවසේ සැකකරුවන් 38 දෙනෙක් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන්නයි කලින් සැලසුම් කරලා තිබුණේ. මේ පිරිස අතරට බන්ධනාගාරය ඇතුළේ හිටපු ප්‍රධාන පෙළේ සැකකරුවෙක් වන සිර අංක 4423 දරන කටුවැල්ලේගම සුරේෂ් (කුරුප්පුආරච්චිලාලේ සුරේෂ් පුෂ්පකුමාර) කියන අයත් ඇතුළත්. බූස්ස සහ පල්ලන්සේන බන්ධනාගාරවල ඉඳන් මේ 38 දෙනාව අද අධිකරණයට ගෙනත් තිබුණා.
හැබැයි වැඩේ කියන්නේ, මේ සැකකරුවන්ව හඳුනාගන්න ඉන්න ප්‍රධාන සාක්ෂිකරුවන් වෙන්නේ බන්ධනාගාර නිලධාරීන්. ඒ නිලධාරීන් එදා වුණු දරුණු ප්‍රහාරයෙන් තුවාල ලබලා තාමත් රෝහල්ගතවයි ඉන්නේ! ඒ නිසා හඳුනාගැනීමේ පෙරට්ටුව අගෝස්තු 21 වැනිදා දක්වා කල් තියන්න මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
ඒ අනුව මේ 62 දෙනාම එදාට මුහුණු ආවරණය කරලා අධිකරණයට ගේන්න කියලත් බන්ධනාගාර අධිකාරිවරුන්ට දැඩි නියෝගයක් නිකුත් කරලා තියෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීලා තියෙන විදිහට මේ කොටු වුණු සැකකරුවන්ට එල්ල වෙන්නේ සුළුපටු චෝදනා නෙවෙයි. ඔවුන්ට එරෙහිව පහත දැක්වෙන බරපතළ චෝදනා යටතේ නඩු පවරන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා..
මිනීමැරුම් චෝදනා
ගිනි අවි ආඥා පනත යටතේ චෝදනා
පොදු දේපළ පනත යටතේ චෝදනා
මීට අමතරව දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317 සහ 344 කියන බරපතළ වගන්ති රැසක් යටතේ තමයි මේ අයට නඩු පැවරෙන්නේ.
ඒ අනුව, අද ඉදිරිපත් කරපු සැකකරුවන් සියලු දෙනාම ලබන අගෝස්තු 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නයි මීගමුව මහේස්ත්‍රාත්වරිය අවසානයේ තීන්දු කළේ. එදාට මේ හිරගෙදර ඝාතනයේ තවත් රහස් රැසක් එළියට ඒවි!