මේ වෙද්දිත් ලංකාවෙන් ඩෙංගු මරණ 64ක්ම වාර්තා වෙලා ඉවරයි. ඒ වගේම ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අලුත්ම දත්තවලට අනුව මේ අවුරුද්දේ මේ දක්වා වාර්තා වෙලා තියෙන මුළු ඩෙංගු රෝගීන් ගණන 89,033ක්! මේක නම් ඇත්තටම සුළුපටු තත්ත්වයක් නෙවෙයි.
ඔයා ජීවත් වෙන්නේ බස්නාහිර පළාතේ නම් අනිවාර්යයෙන්ම වෙනදට වඩා පරිස්සම් වෙන්න වෙනවා. මොකද මුළු රෝගීන්ගෙන් 52.94%ක්ම, ඒ කියන්නේ රෝගීන් 47,136 දෙනෙකුම හමුවෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන්.
දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් ඩෙංගු මාරයාගේ වැඩිම බලපෑමට ලක්වෙලා තියෙන්නේ මේ දිස්ත්‍රික්ක 3යි..
ගම්පහ දිස්ත්‍රික්කය: රෝගීන් 18,922යි (21.25%)
කොළඹ දිස්ත්‍රික්කය: රෝගීන් 17,679යි (19.86%)
මහනුවර දිස්ත්‍රික්කය: රෝගීන් 6,298යි (7.07%)
කොළඹ නගර සභා සීමාව ඇතුළේ විතරක් රෝගීන් 3,569 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා කියන එකෙන්ම මේ තත්ත්වයේ බරපතළකම හිතාගන්න පුළුවන්නේ.
මේ අවුරුද්දේ වැඩිම රෝගීන් ගාණක් වාර්තා වෙලා තියෙන්නේ පහුගිය ජූලි මාසයේදීයි. ඒ ගණන 29,973ක්. ඒ විතරක් නෙවෙයි, මේ ගෙවෙන අගෝස්තු මාසේ මුල් දවස් 7 ඇතුළත විතරක් අලුතින් ඩෙංගු රෝගීන් 3,686 දෙනෙක් රෝහල්ගත වෙලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ.
මේ වෙද්දිත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක්ම තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප විදිහට තමයි සෞඛ්‍ය අංශ නම් කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ගෙදර, වත්තේ පරණ ටයර්, පොල් කටු, ප්ලාස්ටික් කෝප්ප වගේ මදුරුවන් බෝවෙන දේවල් තියෙනවා නම් අදම සුද්ද පවිත්‍ර කරලා දාන්න. පොඩි නොසැලකිලිමත්කමකින් ඊළඟ ගොදුර ඔයාගේ පවුලේම කෙනෙක් වෙන්න දෙන්න එපා!