ඒ, තමන්ගේ කුළුදුල් දරු ප්‍රසූතිය සිදුවීමට මෙන්න තව දින දෙකක් පමණක් ඉතිරිව තිබියදී, නූපන් බිළිඳා සමඟින්ම 34 හැවිරිදි මව මෙලොවින් සමුගෙන යාමේ ඛේදවාචකයයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාද්දුව, කැතරින් මාවතේ පදිංචිව සිටි කේ. දිලානි ප්‍රනාන්දු නමැති ආදරණීය මවයි.
ඥාතීන් පවසන පරිදි, පසුගිය 24 වැනිදා ඇයට සාමාන්‍ය උණ ගතියක් ඇතිවී තිබෙනවා. වේදනා නාශක පෙති දෙකක් පානය කිරීමෙන් පසු එය සුව වුවද, පසුව ඇති වූ මළපහ පිට නොවීමේ අපහසුතාවයක් නිසා ඇයව පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
මුල සිටම දරුවා ලැබීමට පෙන්වූ මෙම පෞද්ගලික රෝහලේදී සීසර් සැත්කම සඳහා කළ පරීක්ෂණවලදීයි ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බව හදිසියේම අනාවරණය වී ඇත්තේ...
නමුත් එකී පෞද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ (ICU) ඉඩ පහසුකම් නොමැති වීම නිසා ඇයව වහාම රජයේ මාතෘ රෝහලකට මාරුකර යැවීමට ඥාතීන් කටයුතු කර තිබෙනවා.
"ඒ වෙනකොටත් ගොඩක් ප්‍රමාදයි කියලා තමයි රෝහලෙන් කිව්වේ... දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉද්දී 28 වැනිදා බබාත්, 29 වැනිදා සවස නංගිත් අපිට නැති වුණා..." යනුවෙන් ඥාතීන් කඳුළු සලමින් පවසා සිටිනවා.
දිලානිගේ සැමියා වන ඉසුරු ගුණවර්ධන (42) ගුවන්පාලක මෙහෙයුම්වරයෙක් ලෙස සේවය කරන අයෙක්. වාද්දුව නගරයේ ජංගම දුරකථන වෙළඳසැලක් පවත්වාගෙන ගිය දක්ෂ ව්‍යාපාරිකාවක වූ දිලානිව ඔහුට හමුවන්නේද ඒ ඔස්සේයි. වසර දෙකකට පෙර ඉතාමත් ආදරයෙන් සහ සමගියෙන් යුතුව යුග දිවියට පිවිසි ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ මේ පුංචි පැටියායි.
"මීට කලිනුත් මාස 3දී බබෙක් නැති වුණා. ඊට පස්සේ මේ බබා ලැබෙන්න ඉද්දී හරිම පරිස්සමෙන් බලාගත්තේ. අධිකරණ වෛද්‍යවරයාට දැම්මට පස්සේ තමයි බබාව අරන් තිබුණේ... හරිම ලස්සන පුතෙක්... දැන් අම්මයි බබයි දෙන්නම මෙහෙම ඉන්නවා අපි බලන්නේ කොහොමද..." යනුවෙන් මියගිය දිලානිගේ නෑනන්ඩිය වන දිලානි ගුණවර්ධන සංවේදී ලෙස අදහස් දැක්වූවා.
තමන්ගේ ආදරණීය බිරිඳ සහ නූපන් පුතු අහිමි වූ සැමියා වන ඉසුරු මහතා පවසන්නේ වෛද්‍යවරුන් ඔවුන් දෙදෙනා බේරාගැනීමට උපරිමයෙන්ම කැපවූ බවත්, එය තමන් ඇස් දෙකෙන්ම දැකගත් බවත්ය.
"මේක එයාගෙයි මගෙයි අවාසනාව වෙන්න ඇති..." කියමින් ඔහු සංවේදීව හැඬූ කඳුළින් පවසා සිටියා.
මියගිය ආදරණීය මවගේ දෙපා පාමුල, නූපන් පුංචි බිළිඳාගේ මළ සිරුර තබා නිවසේ තැන්පත් කර තිබූ මොහොතේ, අවසන් ගෞරව දැක්වීමට පැමිණි ගම්වාසීන් කිසිවෙකුටත් තම නෙතඟ ආ කඳුළු පාලනය කරගැනීමට නොහැකි වුණා.