මීගමුව වරායෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතුරුදහන් වී ඇති බවට වාර්තා වීමත් සමග, ඔවුන් සෙවීමේ සහ මුදාගැනීමේ ඒකාබද්ධ මෙහෙයුමක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයාට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව සහ ගුවන් හමුදාව, අතුරුදහන් වූ ධීවරයින් සෙවීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය නාවික සහ ගුවන් නිරීක්‍ෂණ යාත්‍රා හා සහායක බලඇණි මේ වන විටත් යොදවා ඇති බව සඳහන්.
එසේම ඒ සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් ද යොමු කර ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, මීගමුව මුහුදේදී අනතුරට ලක් වූ ධීවර යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකුගේ සිරුරක් සොයාගත් බව නාවික හමුදාව පවසනවා.
මේ අතර අතුරුදන් වූ බවට පැවසෙන තවත් ධීවර යාත්‍රා 3ක් සොයා මෙහෙයුම් සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.