බෙන්තොට වෙරළ තීරයේ පැරා මෝටර් යානයකින් ගුවනින් සංචාරයක නිරත වූ විදේශීය කාන්තාවක් රැගත් යානයක් පසුගියදා පස්වරු 4.00ට පමණ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මුහුදට කඩා වැටීමෙන් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ බෙන්තොට වෙරළේ සිට මීටර් 700ක් පමණ මුහුද දෙසින් වන අතර, අනතුරට පත්වූ යානයේ සිටි නියමුවා යානයෙන් ඉවතට පැන පිහිනා ගොඩබිමට පැමිණ දිවි ගලවාගෙන තිබෙනවා.
නියමුවා කොලොම්බියානු ජාතික මනිල් ඊබ්‍රාහිම් නමැත්තෙකු බවත්, යානයේ ගමන් ගත් කාන්තාව ලෙබනන් ජාතික සංචාරකයෙකු බවත් පොලිසිය සඳහන් කළා.
අනතුරෙන් පසු නාවික හමුදා කිමිදුම්කරුවන් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ ගිලී තිබූ යානයෙන් කාන්තාවගේ සිරුර සොයාගෙන ගොඩට ගෙන ඇති අතර, එය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
අනතුරට ලක්වූ පැරා මෝටර් යානයද පසුව මුහුදෙන් ගොඩට ගෙන ඇති අතර, අනතුරට හේතුව යාන්ත්‍රික දෝෂයක් බවට සැක කෙරෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වෙන්නේ.