මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර, කඹුරුගොඩ ප්‍රදේශයේ පදිංචි 32 සහ 37 හැවිරිදි වියෙහි පසුවන තිදරු අඹුසැමි යුවළක්.
සැකකරුවන් සමඟ ඔවුන් සන්තකයේ තිබූ වස සහ ඇසිඩ් ද්‍රාවණ අඩංගු යැයි කියන බෝතල් දෙකක්ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, මෙම කාන්තාව වසර ගණනාවක සිට සැමියා සහ දරුවන් අතහැර දමා කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරතව සිට ඇති අතර, සැමියාද ඇයව සොයමින් කොළඹ ප්‍රදේශයේම රැකියාවක නිරතව සිට තිබෙනවා.
ඊයේ (29) රාත්‍රියේ මෙම කාන්තාව මාතර සිට කොළඹ බලා පැමිණි බස් රථයක නැගී ඇති අතර, සැමියාද ඇයට හොර රහසේම එම බස් රථයේම පිටුපස අසුනක වාඩි වී පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඇය පානදුර නගරයෙන් බැස ත්‍රීරෝද රථයකින් හිරණ මාර්ගය ඔස්සේ කැස්බෑව දෙසට ගමන් කිරීමට යාමේදී, සැමියාද එම ත්‍රීරෝද රථයටම ගොඩවී මෙලෙස දැඩි ලෙස ආරවුල් ඇති කරගෙන තිබෙනවා.
එහිදී සැමියා විසින් වස බෝතලයක් පෙන්වා ඇයටද පොවා තමන්ද පානය කරන බවට තර්ජනය කර ඇති අතර, ඊට දෙවැනි නොවූ කාන්තාවද ඇගේ බෑගයේ තිබූ ඇසිඩ් බෝතලයක් එළියට ගෙන ඔහුට පහර දී තමන්ද දිවි නසාගන්නා බව කියමින් කෑගසා ඇති බව සඳහන්.
රාත්‍රී 11.30ට පමණ සිදුවූ මෙම සිදුවීමෙන් බියට පත් වූ ත්‍රීරෝද රථ රියදුරා, වහාම රථය ආසන්නයේ තිබූ හිරණ පොලිස් ස්ථානය වෙත ධාවනය කර ඔවුන්ව පොලිසියට ඇරලවා එතැනින් පිටව ගොස් තිබෙනවා.
පොලිස් ස්ථානය ඉදිරිපිටදීත් දෙදෙනා එකිනෙකාට බැන වදිමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හිරණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.