හැමදාම බස්නායක නිලමේ මාරු වෙන අමුතුම පෙරහරේ අලුත්ම තත්ත්වය මෙන්න..
පහුගිය දවස්වල ලංකාවෙම ලොකු කතාබහකට වගේම ආන්දෝලනයකට ලක්වුණු දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහරේ ලොකුම දවස අදයි. ඒ කියන්නේ හැමෝම බලාගෙන ඉන්න ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) සවස 3.30ත් රාත්‍රී 7ත් අතර කාලයේදී සුබ මොහොතින් වීදි සංචාරය කරන්න ඔන්න දැන් සේරම ලෑස්තියි.
මේ සැරේ පෙරහරේ ආරක්ෂාව නම් නිකම් සෙල්ලම් නෑ. හිතාගන්නකෝ, දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහත්තයාගේ සෘජු අධීක්ෂණය යටතේ විතරක් පොලිස් නිලධාරීන් 1200ක් දාලා! ඊට අමතරව පොලිස් අධිකාරී වෑවිටවිතානගේ නායකත්වයෙන් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 150ක්, බුද්ධි අංශයේ 200ක් වගේම යුද හමුදාවත් මේ ආරක්ෂක දැලට එකතු වෙලා. ඔක්කොම ගත්තම ආරක්ෂක අංශ සාමාජිකයින් 1700කට ආසන්න පිරිසක් මේ පෙරහරේ ආරක්ෂාවට යොදවලා තියෙනවා.
ඊයේ (28) තිබුණු කාවඩි පෙරහරේදීත් කාවඩි කණ්ඩායම් 31කට සහ නර්තන කණ්ඩායම් 32කට වෙන වෙනම විශේෂ පොලිස් ආරක්ෂාවක් දීලා තිබුණා කියලයි අපේ වාර්තාකරුවන් සඳහන් කළේ.
සාමාන්‍යයෙන් දේවාලෙක පෙරහරක් කිව්වම එක බස්නායක නිලමේ කෙනෙක් නේ පෙරහරේ යන්නේ. හැබැයි මේ සැරේ දෙවිනුවර පෙරහරේ මේක ටිකක් වෙනස්.
පළවෙනි දවසේ (23 වැනිදා): පළමු පේළි පෙරහරේ ගමන් කළේ නිල බස්නායක නිලමේ වෙන ආරච්චිගේ තිළිණ මධුසංක මහත්මයා.
අනෙක් දවස්වල: අනිත් පේළි පෙරහරවල බස්නායක නිලමේ විදිහට ගමන් කළේ දේවාලයේ බස්නායක නිලමේ ලේකම්වරයා විදිහට වැඩ කරපු, විශ්‍රාමික ග්‍රාම නිලධාරී රෝහණ ජයසිංහ මහත්මයා.
අද (අවසන් රන්දෝලි පෙරහරේ): අද තියෙන ග්‍රෑන්ඩ් ෆයිනල් එකට හෙවත් රන්දෝලි පෙරහරේ බස්නායක නිලමේ විදිහට යන්න නියමිත වෙලා තියෙන්නේ දෙවිනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙන නුවන්ජිත් සෙල්ලහේවා මහත්මයා කියලයි ආරංචි වෙන්නේ.
කලින් දවස්වල තිබුණු පේළි පෙරහර වගේ නෙවෙයි, අද තියෙන රන්දෝලි පෙරහරට අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් විශාල ගාණක් සහභාගී වෙනවා. ඒ වගේම තේවාභරණ සහ සධාතුක කරඬුව වැඩමවීම සිද්ධ වෙන්නෙත් දැඩි ආරක්ෂක රැකවල් මැද අද දවසේදී තමයි. ඉතින් මේ ඓතිහාසික පෙරහරේ අසිරිය විඳගන්න යන අයට නම් අද ලොකු වෙනසක් බලාගන්න පුළුවන් වෙයි!