පොලිස්පතිවරයා විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිතව නිල නිර්දේශයක් ඉදිරිපත් කරමින් ජූලි 25 දිනැතිව යොමු කළ ලිපියකින් පෙන්වා දී ඇත්තේ, ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් විශේෂ කාර්යාංශය සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබා දී ඇති බුද්ධි තක්සේරු වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, දෙවිනුවර බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුශංක වෙත දැනුම් දී ඇත්තේ 28 වන දින පැවැත්වීමට නියමිත පෙරහැරේ කාවාඩි නර්තන අංගය වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
බුද්ධි වාර්තාවලට අනුව, මෙවර කාවඩි කණ්ඩායම් තෝරා ගැනීමේදී සංවිධානාත්මක අපරාධකරුවන් වන 'දෙහි බාලේ මල්ලී' සහ 'උණාකුරුවේ ශාන්ත' යන පාර්ශ්ව අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. පසුගිය වසරේදී විනය විරෝධී ලෙස හැසිරුණු කාවඩි කණ්ඩායම් කිහිපයක් මෙවර ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම ගිණියම් වීම තවත් උග්‍ර වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතරතුර විදේශගතව සිටින ප්‍රකට පාතාල අපරාධකරුවෙකු වන 'කංජිපානි ඉම්රාන්' තමන්ගේ පාර්ශ්වයේ කාවාඩි කණ්ඩායම්වලට අවස්ථාව නොදුන්නොත් පෙරහැරට බාධා කරන බවටත්, පෙරහැරට නායකත්වය දෙන බස්නායක නිලමේවරයාට මරණ තර්ජනය කරමින් නිකුත් කළ හඬපටයක් ද සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස සංසරණය වුණා.
ඊට ප්‍රතිචාර වශයෙන් 'දෙහි බාලේ මල්ලී' නැමැත්තා ද තර්ජනාත්මක හඬපට නිකුත් කළ අතර, මෙම පාතාල කල්ලියන්ගේ තර්ජනාත්මක හඬපට ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ දෙවිනුවර පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස කාවඩි අංගය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.