කොරෝනාවලට පස්සේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඩෙංගු මාරයා. ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් නිකුත් කරපු අලුත්ම දත්ත දැක්කම නම් කාට වුණත් බයක් හිතෙනවා.
මේ අවුරුද්දේ මේ වෙනකම් වාර්තා වෙලා තියෙන ඩෙංගු රෝගීන් ගාණ 82,011 ක්! ඒ වගේම මේ වෙනකොට ඩෙංගු නිසා අවාසනාවන්ත විදිහට මරණ 61ක් සිද්ධ වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා.
මේකේ තියෙන බියකරුම කතාව තමයි මේ මියගිය 61 දෙනාගෙන් 47 දෙනෙක්ම කාන්තාවන් වීම. මුළු ඩෙංගු රෝගීන්ගෙන් ගත්තත් 45%ක්ම කාන්තාවන්. ගෙදර දොරේ වැඩ කරන ගමන්, එහෙමත් නැත්නම් ඔෆිස් එකේ වැඩ කරන ගමන් මදුරුවන්ගෙන් පරිස්සම් වෙන්න කාන්තාවන් මීට වඩා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක තමයි මේකෙන් හොඳටම පැහැදිලි වෙන්නේ.
ඒ විතරක් නෙමෙයි, පාසල් යන වයසේ ඉන්න අහිංසක දරුවන් 06 දෙනෙකුත් මේ වෙද්දී ඩෙංගු මාරයාට බිලිවෙලා ඉවරයි. අම්මලා තාත්තලා දරුවෝ ඉස්කෝලේ යවද්දී වගේම ගෙදර ඉන්න වෙලාවටත් මදුරුවන්ගෙන් දරුවන්ව බේරගන්න මීට වඩා ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය කියන විදිහට ජුනි සහ ජූලි මාස දෙකේ තමයි ඩෙංගු රෝගීන් වැඩිපුරම හමුවෙලා තියෙන්නේ. ජූලි මාසේ විතරක් රෝගීන් 26,636ක් හමුවෙලා තියෙනවා කියන්නේ මේක සුළුපටු තත්ත්වයක් නෙමෙයි.
ඉතින් අදම ගෙවත්ත සුද්ද බුද්ද කරලා, වතුර පිරෙන තැන් අයින් කරලා මේ මාරාන්තික ඩෙංගු මදුරුවාගෙන් පරිස්සම් වෙන්න. මේක කොහෙත්ම සෙල්ලමට ගන්න එපා.