මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වතුපිටිවල ආයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කළ නිලධාරියෙක්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ අදාළ සිදුවීමත් සමගම ක්‍රියාත්මක වූ උසස් නිලධාරීන් මොහුගේ වැඩ තහනම් කර ඇති අතර, මේ වන විට ඔහුට එරෙහිව පූර්ණ විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි.
පසුගිය 23 වැනිදා උදෑසන 10.45 ට පමණ වතුපිටිවල රෝහල අසල පිහිටි පෞද්ගලික ආයතනයක් ඉදිරිපිටදී මෙම නිලධාරියා ඉතාමත් අශෝභන අයුරින් හැසිරී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අදාළ නිලධාරියාගේ මෙම නොහොබිනා ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකා පොලීසියට පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයටම දැඩි අපකීර්තියක් සිදුවී ඇති බවත්, මෙය අනෙකුත් නිලධාරීන්ටද ඉතා අශෝභන පූර්වාදර්ශයක් බවත් පොලිසිය පෙන්වා දෙනවා.
මෙවැනි නිලධාරියෙකු තවදුරටත් සේවයේ තබා ගැනීම පොලිස් සේවයේ කීර්තිනාමයට සහ අභිමානයට සිදුවන බරපතල කැළලක් බැවින්, ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව මෙම දැඩි තීරණය ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනූ විනයගරුක පොලිස් සේවයක් පවත්වාගෙන යාම තමන්ගේ මූලික අරමුණ බවත්, නීතිය සහ විනය සුරැකීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් සිදුවන මෙවැනි අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන බවත් පොලිස් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
මහජනතාවගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් යුක්තිගරුකව පෙනී සිටීමට ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන්ම බැඳී සිටින බව ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්ද පවසා තිබෙනවා.