එම වාර්තාවට අනුව කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර 07 තුළ 2025 වසරේදී පවත්වා ඇත්තේ රැස්වීම් 03ක් පමණයි. එහිදී පුද්ගලයින් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම මෙම මන්දිර 07හි දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් සියලු වියදම් සඳහා රුපියල් 32,982,675ක මුදලක් වැය වී තිබෙනවා.
විශේෂයෙන්ම කතරගම, මහියංගණය සහ බෙන්තොට පිහිටි ජනාධිපති මන්දිරවල කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නැතත්, භාවිතයට නොගත් එම මන්දිර සඳහාද විදුලිය, දුරකථන ඇතුළු නඩත්තු වෙනුවෙන් රුපියල් 2,447,754ක මුදලක් දරා ඇති බවයි විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර, ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
2025 වසර තුළ ජනාධිපති මන්දිර පරිශ්‍රයන්හි පිහිටි වෙනත් ගොඩනැගිලිවල නවාතැන් ගෙන ඇත්තේ රාජකාරිමය අවශ්‍යතාවලට පැමිණි ආරක්ෂක අංශ, මාධ්‍ය සහ අනෙකුත් නිලධාරීන් පමණක් බවයි ඔවුන් පවසන්නේ. එම නිලධාරීන් කිසිවෙකුත් ප්‍රධාන ජනාධිපති මන්දිර තුළ නවාතැන් ගෙන නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් තහවුරු කරනවා.