අද (26) සවස බේරුවල පැත්තෙනුත් ඒ වගේ කාගේත් කතාබහට ලක්වෙන අසාමාන්‍ය සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ තමයි බේරුවල, මරදාන මුහුදු තීරයට හිතාගන්නවත් බැරි තරමේ දැවැන්ත, මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබීම.
අපේ වාර්තාකරුවන් සඳහන් කරන විදිහට මේ තල්මසාගේ සිරුර මීටර් 35ක (අඩි 115ක පමණ) විතර දිගකින් යුක්තයි. එකපාරටම මේ වගේ යෝධ මුහුදු ජීවියෙක් වෙරළට ගොඩගහලා තියෙනවා දැක්කම ඒ අවට හිටපු ප්‍රදේශවාසීන් පවා ලොකු පුදුමයකට වගේම කම්පනයකට පත්වෙලා. මෙතරම් විශාල සතෙකුගේ මළසිරුරක් මෙලෙස වෙරළට පැමිණීම ඇත්තටම දුර්ලභ දසුනක්.
කොහොම වුණත් මේ සිදුවීම දැක්ක ගමන්ම කලබල වුණු ප්‍රදේශවාසීන් වහාම ධීවර පරීක්ෂක කාර්යාලය දැනුවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මේ වනවිටත් ධීවර පරීක්ෂක කාර්යාලය හරහා වනජීවී නිලධාරීන්ව මේ ගැන දැනුවත් කරලා, තල්මසාගේ සිරුර සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන්නයි සූදානමින් ඉන්නේ.
මොන හේතුවක් නිසා මේ තරම් දැවැන්ත මුහුදු ජීවියෙක් මරණයට පත්වුණාද කියන එක නම් තවමත් අභිරහසක්. මුහුදේ සිදුවූ අනතුරක්ද, එහෙමත් නැත්නම් යම් රෝගාබාධයක් නිසාද මේ මරණය සිදුවුණේ කියලා ඉදිරියේදී බලධාරීන් අනාවරණය කරගනීවි.