වෙනදා අපි දැක්කේ කැලෑ කපලා, ලොකු ඉඩම් අරගෙන හදන සෝලා පැනල් ව්‍යාපෘති වුණත්, මේ පාර අපේ රටේ පළමු වතාවට ඇළ මාර්ගයක් මත ඉදිවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් (Canal-Top Solar) ආරම්භ කරන්නයි සූදානම. මේ අපූරු ව්‍යාපෘතිය සඳහා මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු මේ වෙද්දිත් මහියංගණය 'වියානා ඇළ' ආශ්‍රිතව ආරම්භ කරලයි තියෙන්නේ.
කිලෝමීටර් 20කට වඩා දිගින් යුත් වියානා ඇළ කියන්නේ අවුරුද්ද පුරාම නොකඩවා හොඳින් ඉර එළිය වැටෙන පළාතක්. ඉතින් මේ ඇළ උඩින් සෝලා පැනල් හයි කළාම ජාතික විදුලිබල පද්ධතියට ලොකු විදුලි ධාරිතාවක් එකතු කරගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේකට වෙනම අමතර ඉඩම් නාස්ති වෙන්නේ නැහැ. ඒ වගේම සෝලා පැනල්වලින් ඇළ වැහෙන නිසා ජලය වාෂ්ප වෙන එකත්, රස්නෙ කාලෙට වතුර උණුසුම් වෙන එකත් පාලනය වෙනවා.
වියානා ඇළ කියන්නේ නිතරම වල් අලි වැටිලා ඛේදවාචක සිද්ධ වෙන තැනක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හැබැයි මේ ව්‍යාපෘතියත් එක්කම සුදුසු ආරක්ෂක සැලසුම් සහ ආරක්ෂිත විදුලි අලි වැටවල් ඉදිකරන්නත් සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා මින් ඉදිරියට වන අලින් ඇළට වැටිලා අනතුරුවලට ලක්වෙන එකත් බොහෝ දුරට අවම කරගන්න පුළුවන්.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය තමයි මේ Canal-Top Solar සංකල්පය ලෝකෙට හඳුන්වලා දීමේ පුරෝගාමියා වුණේ. දැන් ලංකාවත් ඒ ආදර්ශය අරගෙන අපේ රටේ හරිත බලශක්ති ප්‍රතිපත්තියට අලුත් දිශානතියක් දෙන්නයි හදන්නේ. ඒ විතරක් නෙමෙයි, අනාගතයේදී 'Green Hydrogen' (හරිත හයිඩ්‍රජන්) වගේ අතිනවීන බලශක්ති ව්‍යාපෘති වලටත් මේක ලොකු අඩිතාලමක් වෙයි කියලා තමයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
79% ක් දක්වා පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ විදිහට ඉදිවෙන වියානා ඇළ ව්‍යාපෘතිය අනාගතයට හොඳ ආදර්ශයක් වේවි!