ඉතින් මේ ඩෙංගු වසංගත තත්ත්වය නිසා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට (LRH) ප්‍රතිකාර ගන්න එන දරුවන්ගේ ගාණත් සෑහෙන්න වැඩි වෙලා කියලයි ආරංචි වෙන්නේ. රිජ්වේ ආර්යා රෝහල කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන විශාලතම නොමිලේ සේවා සපයන ළමා රෝහලයි.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහත්තයා කියන විදිහට, මේ වගේ තදබදයක් අස්සෙත් අපේ පොඩිත්තන්ට ඉක්මන් වගේම නිවැරදි ප්‍රතිකාර ලබාදෙන්න නම් දෙමාපියන්ගේ සහයෝගය ගොඩක් වැදගත්ලු. සමහර දරුවන්ට ඩෙංගු හැදිලා සුව වුණාට පස්සෙත් විවිධ සංකූලතා මතුවෙන්න පුළුවන් කියලා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනතුරු අඟවලා තියෙනවා. ඉතින් දරුවෙක්ව සායනයකට (Clinic) හරි, වෙනත් ප්‍රතිකාරයකට හරි රෝහලට අරන් එනවා නම්, අනිවාර්යයෙන්ම මේ කියන ලියකියවිලි 5 අරන් එන්න කියලා රෝහලෙන් හදිසි දැනුම්දීමක් කරලා තියෙනවා.
මෙන්න අනිවාර්යයෙන්ම අරන් යන්න ඕන ලියකියවිලි 5,
පුද්ගල සෞඛ්‍ය අංකය හරි බාර් කෝඩ් කාඩ් එක (PHN / Barcode Card): මේකෙන් දරුවාගේ විස්තර රෝහල් කාර්ය මණ්ඩලයට ඉක්මනින් හොයාගන්න ලේසියි.
ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත (CHDR / Weight Record Book): ඒ කියන්නේ දරුවාගේ බර සහ වර්ධනය සටහන් කරන අපේ අම්මලා ළඟ තියෙන පොත.
අසාත්මිකතා (Allergies) ගැන විස්තර: දරුවාට මොනවා හරි බෙහෙත් වලට හරි කෑම වලට හරි ඇලජික් (අසාත්මිකතා) තියෙනවා නම් ඒ ගැන තියෙන ලියකියවිලි අනිවාර්යයි.
සායනික සටහන් පොත් (Clinic Books): කලින් ක්ලිනික් ගියපු පොත් තියෙනවා නම් ඒවත් අරන් යන්න අමතක කරන්න එපා. රෝහලෙන් පිටවීමේ කාඩ්පත් (Discharge / Diagnosis Cards): කලින් රෝහල් ගතවෙලා හිටියා නම් ඒ දෙන කාඩ්පත් ගෙනියන්නත් අත්‍යවශ්‍යයි.
මේ වගේ අමාරු කාලෙක අපේ දරුවන්ගේ ජීවිත බේරගන්න රෝහල් කාර්ය මණ්ඩලයට සහයෝගය දෙන එක අපේ යුතුකමක් නේද? ඒ නිසා ඔයාලත් මේ ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න. මේ ගැන තව දුරටත් විස්තර දැනගන්න ඕන නම් රිජ්වේ රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයේ 011 2693711 (දිගුව 307) අංකයට කතා කරලා අහන්නත් ඔබට පුළුවන්!