නියම ගාණට වඩා සෑහෙන්න වැඩිපුර ගන්නවා. සමහර වෙලාවට කල් ඉකුත් වුණ පරණ කෑමත් දෙනවා. හැබැයි ඔන්න දැන් අහිංසක මගීන්ව ගසාකන ඒ හොර වැඩවලට තිත තියන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කරලා!
පසුගිය 2026 ජූලි 20 වෙනිදා පාරිභෝගික අධිකාරියෙන් ලොකු හදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ලංකාව පුරාම තියෙන ප්‍රධාන බස් නැවතුම්පොළවල්, දුරගමන් බස් හෝල්ට් සහ ඒ අවට තියෙන ආපනශාලා, වෙළෙඳසල් 112ක්ම එකපාරටම වටලලා පරීක්ෂා කරලා. අහිංසක මගීන්ගෙන් අයුතු විදිහට මුදල් ගරාගන්න කඩකාරයින්ව නීතියේ රැහැනට කොටු කරගන්න තමයි මේක කරලා තියෙන්නේ.
වැටලීමේදී මාට්ටු වුණු හොර වැඩ:
මේ හදිසි වැටලීම්වලදී අපේ සමහර කඩකාරයෝ කරපු ජාවාරම් ගොඩක් නිලධාරීන්ට මාට්ටු වෙලා තියෙනවා.
ගණන් උස්සලා විකිණීම: බීම වර්ග, ෂෝට් ඊට්ස් සහ පැකට් කරපු කෑම ජාති ගහලා තියෙන උපරිම සිල්ලර මිලට (MRP) වඩා වැඩි ගාණකට විකිණීම.
මිල ගණන් හංගලා: බේකරි නිෂ්පාදන සහ අනිත් භාණ්ඩවල මිල පාරිභෝගිකයාට පේන්න ප්‍රදර්ශනය නොකිරීම.
විස්තර නැති කෑම: පැකට් කරපු කෑමවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ විස්තර කිසිවක් සඳහන් කර නොතිබීම.
එක්ස්පයර් වුණු කෑම: කල් ඉකුත් වූ (Expired) කෑම ජාති කිසිම හිරිකිතයක් නැතුව මිනිස්සුන්ට කන්න විකිණීමට තබා තිබීම.
මාට්ටු වුණු කඩකාරයින්ට නම් ලේසියෙන් බේරෙන්න හම්බවෙන්නේ නෑ. පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ මේ වැරදි කරපු හැම වෙළෙඳසැලකටම සහ ආපනශාලාවකටම එරෙහිව අදාළ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවරනවා කියලයි. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා වගේම, මේ වගේ හදිසි වැටලීම් ඉදිරියේදීත් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා කියලත් ඔවුන් අනතුරු අඟවනවා.
ඔබටත් බස් හෝල්ට් එකකදී හරි, වෙනත් කඩයකදී හරි මේ වගේ අසාධාරණයක් වුණොත් මුනිවත රකින්න එපා! කාර්යාල වේලාවන් ඇතුළත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට කතා කරලා පැමිණිලි ඒකකයට වහාම දැනුම් දෙන්න පුළුවන්.