සරුංගල් සමයත් සමඟ දිවයිනේ ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ ගොස් ඇති අතර, එමඟින් ගුවන් යානාවල ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධානතම හේතුවක් ලෙස ධාවන පථ ආසන්නයේ සරුංගල් යැවීම හඳුනාගෙන ඇති අතර, එය ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලට සෘජු බාධාවක් බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල යන ප්‍රදේශවල පිහිටි ගුවන් ධාවන පථ අවට මෙලෙස බහුලව සරුංගල් යැවීම මේ වන විට අධි අවදානම් තත්ත්වයක් මතු කර ඇති බව ගුවන් හමුදාව සඳහන් කරනවා.
මෙම අනතුරුදායක තත්ත්වය සනාථ කරමින් අද (15) දින රත්මලාන ගුවන් තොටුපළෙන් පුහුණු වීම් සඳහා ගුවන්ගත වූ Y-12 වර්ගයේ ගුවන් යානයක් සරුංගල් නූල් හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ දී ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ.
ගුවන් හමුදාව පවසන්නේ, පුහුණුවීම්වල නිරතව සිටි මෙම යානය නැවත රත්මලාන ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා ඇති අතර, ඉන් අනතුරුව සිදු කළ කාර්මික පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ ගුවන් යානයේ වම්පස රෝදයේ, වම්පස එන්ජින් ප්‍රදේශයේ සහ තවත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබූ බවයි.
ගුවන් යානයක එන්ජිමකට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයම දරුණු අනතුරකට ලක්වීමේ සෘජු අවදානමක් පවතින බව ගුවන් හමුදාව පවසනවා.
මෙමඟින් විශාල ජීවිත හා දේපල හානියක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.