මෙන්න ඒ වගේ මුළු රටේම නෙතට කඳුළක් එක් කරපු, ඒ වගේම අවසානයේ කාගේත් හිත් සතුටින් පුරවපු අතිශය සංවේදී පුවතක් සමාජ මාධ්‍ය හරහා වාර්තා වෙනවා.
දිනක් පාරේ ගමන් කරමින් සිටි පූජ්‍ය වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේට අපූරු දසුනක් දැකගන්න ලැබෙනවා. ඒ, වයස්ගත වුණු අත්තම්මා කෙනෙක් පුංචි ප්ලාස්ටික් ස්ටූල් එකක ආධාරයෙන්, අඩියක් අඩියක් පාසා ඉතාමත් අමාරුවෙන් පාරේ ගමන් කරන අයුරුයි. වහාම ක්‍රියාත්මක වුණු හාමුදුරුවෝ, මේ අත්තම්මාට වෝකර් (Walker) එකක් අරන් දෙන්න හිතාගෙන ඇය ළඟට ගිහින් කතාබහ කරන්න පටන් ගන්නවා.
ටිකක් වෙලාව කතාබහ කරමින් ඉන්න අතරතුර උන්වහන්සේ පවසනවා තමන් වල්පොළ ගෝතම හාමුදුරුවෝ කියලා. අනේ... ඒ නම ඇහුව විතරයි මේ අත්තම්මා පුදුමයට පත්වෙලා, දැනුනු සතුට දරාගන්න බැරුව මහ හයියෙන් හඬන්න පටන් ගන්නවා. හේතුව තමයි, මේ අත්තම්මා කාලෙක ඉඳන් හාමුදුරුවන්ගේ ධර්ම දේශනා පත්තරවලින් කියවලා තියෙනවා විතරක් නෙවෙයි, ඒ පත්තර පිටු අද වෙනකම්ම ගෙදර ඉතාමත් පරිස්සමට තියාගෙන ඉඳලා තියෙනවා. තමන් පත්තරෙන් දැකපු, තමන් ගරු කරපු ඒ උතුම් යතිවරයාණන් වහන්සේ තමන් ඉදිරියේ ඉන්නවා දැකීම ඇයට අදහාගත නොහැකි සතුටක් වෙලා.
කෙලින් හිටගන්නවත් බැරි මේ අත්තම්මා ජීවත් වෙන්නේ අන්ත අසරණව තනිවමයි. ඇයට ජීවත් වෙන්න ලැබෙන්නේ රජයෙන් දෙන රුපියල් 5000 ක පුංචි පිං පඩිය විතරයි. ඒ සොච්චම් මුදලින් තමයි ඇය තනියම කඩේට යන්නේ, තනියම උයා පිහා ගන්නේ.
පසුව වල්පොළ ගෝතම හාමුදුරුවෝ මේ අත්තම්මා ජීවත් වෙන නිවසටත් වඩිනවා. තැනින් තැන හිල් වුණු උළු කැට, දිරාපත් වුණු වහල, වගේම අමාරුවෙන් උයාගත්ත පුංචි බත් මුට්ටිය දකිද්දී ඇත්තටම කාගේ වුණත් ඇස්වලට කඳුළු උනනවා.
තමන් මෙතෙක් කාලයක් ළඟින්ම තියාගෙන වන්දනා කරපු ෆොටෝ එකේ හිටපු ස්වාමීන් වහන්සේම තමන්ගේ දුකට පිහිට වෙන්න ගෙදරටම වැඩම කිරීම මේ අත්තම්මාගේ ජීවිතයේ ලැබූ ලොකුම භාග්‍යයක්. ජීවිතයේ අන්තිම කාලයේ හරි ධර්මයේ පිහිටෙන්, රැකවරණයෙන් සැනසෙන්න මේ ආදරණීය අත්තම්මාට දැන් වාසනාව ලැබිලා තියෙනවා.