සත්තුන්ට තියෙන ආදරේට එහෙම කළත්, මේ විදිහට පාරේ ඉන්න බල්ලන්ට කෑම දෙන අයට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සංජක පෙරේරා මහතාගෙන් දැඩි අවවාදයක් ලැබිලා තියෙනවා.
විදේශ සංවිධාන රැසකගේ එකතුවෙන් කටුනායක පැවති විශේෂ වැඩමුළුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, "ඔබ සතුන්ට ආදරේ නම් පාරේ ඉන්න බල්ලන්ට නිකම්ම කෑම දෙනවා වෙනුවට, ඒ සතුන්ගේ සම්පූර්ණ වගකීමත් භාරගන්න" කියලයි.
මේ කතාවට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ, 2030 වසර වෙද්දී ලංකාවෙන් ජල භීතිකා රෝගය (Rabies) සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වෙද්දී ආරම්භ කරලා තියෙන නිසයි.
"මිනිසුන්ට ජල භීතිකාව වැළඳෙනවාට වඩා සතුන්ගෙන් එය ඉවත් කළ යුතුයි... අපිට ඕනි කරන්නේ සුනඛයා මතම මේක පාලනය කරලා ඉවර කරන්න." යනුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
1973 අවුරුද්දේ පටන් ගත්තු ජල භීතිකා මර්දන වැඩසටහන නිසා, ඉස්සර අවුරුද්දකට 370ක් විතර වුණු මරණ සංඛ්‍යාව දැන් 14ක් දක්වා අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි මේ 14 කියන්නෙත් සුළුපටු ගාණක් නෙවෙයි. දවසකට බල්ලන් සපාකෑම් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ අයගේ ජීවිත බේරෙන්නේ රෝහල්වලින් දෙන එන්නත් නිසයි.
හැබැයි මේ එන්නත්කරණය රජයට දරන්න වෙලා තියෙන අතිවිශාල ආර්ථික බරක්. ඒ නිසා මිනිස්සුන්ට එන්නත් විදිනවාට වඩා, සතුන්ගෙන්ම මේ රෝගය මුලිනුපුටා දාන එක තමයි මේ අලුත්ම සැලසුමේ අරමුණ. එතකොට රජයේ සල්ලිත් ඉතුරුයි, ජනතාවගේ ජීවිතත් ආරක්ෂිතයි!
ඉතින්, පාරේ ඉන්න බල්ලන්ට කෑම දෙන අයටත් මේ සැලසුමත් එක්ක අලුත් වගකීමක් පැවරිලා තියෙනවා කියන එක තමයි බලධාරීන් පෙන්වා දෙන්නේ.