ලිඳුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික විදුලි බලාගාරය අසළින් ගලා බසින ආග්‍රාඔයේ ගිලී අතුරුදන්ව සිටි මෙම සිසුවාගේ සිරුර, දැඩි වෙහෙසකර මෙහෙයුමකින් පසුව අද (14) දහවල් නුවරඑළිය කොට්ඨාශ පොලිස් ජීවිතාරක්ෂක බලකායේ නිළධාරින් විසින් ගොඩගෙන තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ සරස්වති දෙමළ මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලැබූ, පරමානන්දන් කිසෝක් නැමති 14 හැවිරිදි සිසුවායි.
පොලිසිය පවසන පරිදි, ඉකුත් (13) දින පාසල නිම වීමෙන් අනතුරුව කිසෝක් තවත් පාසල් සිසුන් 9 දෙනෙකු සමඟ ආග්‍රාඔයට ගොස් තිබුණේ මාළු ටැංකියකට දැමීම සඳහා ලස්සන ගල් එකතු කිරීමටයි. එහිදී ඔයේ දිය නාමින් සිටියදී එක් වරම කිසෝක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව එදිනම (13) ඔය පුරා දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කළද, සැඩ පහර සහ අයහපත් තත්ත්වයන් හේතුවෙන් සිරුර සොයා ගැනීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත්, අද (14) දහවල් පොලිස් ජීවිතාරක්ෂක බලකා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සිසුවාගේ සිරුර සොයා ගැනීමට හැකි වී තිබෙනවා.
ගොඩගත් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලිඳුල පොලිසියේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා.