ඒ මිලේච්ඡ ප්‍රහාරයට බිලිවෙලා රටටම අහිමි වුණු, බුලත්සිංහල, දෙල්මෑල්ල, අඹගහකන්ද පදිංචිව සිටි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නියාමක අතුකෝරළගේ දර්ශන තරංග (36) කියන ඒ ආදරණීය නිලධාරියාගේ නිවසින් ඇහෙන සෝ සුසුම් කාගේත් දෑස් තෙත් කරනවා.
රැකියාව නිමවෙලා උදේ හවස තමන්ගේ හත් මස් සිඟිති දියණියයි බිරිඳයි බලන්න බණ්ඩාරගම අඩක් ඉදිකරපු ගෙදරට දුවගෙන එන මේ ආදරණීය තාත්තා, දෛවයේ සරදමකට වගේ ඉකුත් 5 වැනිදා මීගමුව බන්ධනාගාරයේ ඇති වුණු කලබලකාරී තත්ත්වය පාලනය කරන්න එතනට කැඳවලා තිබුණා.
පහුවදා (6 වැනිදා) සිරකරුවන්ට කෑම ලෑස්ති කරන්න ගියපු වෙලාවේ කිසිදු ආයුධයක් අතේ නැතිව නිරායුධව හිටපු තරංග ඇතුළු නිලධාරීන් පිරිසට සිරකරුවන් විසින් එල්ල කරපු ඒ ප්‍රහාරයෙන් තරංග මෙලොව හැරගියේ තමන්ගේ හීන ඔක්කොම බාගෙට ඉතුරු කරලයි.
තරංගගේ ආදරණීය බිරිඳ අසිනි කුමුදුමාලි (33) තමන්ගේ හත් මස් දරු පැටියත් වඩාගෙන හඬාවැටෙන්නේ මුළු පළාතම කම්පා කරමින්...
“අනේ එයා කාටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි. එදාමයි එතනට වැඩට ගිහින් තියෙන්නේ. දොරක්වත් තියෙන තැනක් දන්න කෙනෙක් නෙමෙයි. එහෙම වුණා නම් එළියට පැනලා බේරෙන්න හරි එයාට තිබුණා. එක දවසයි එතැනට ගිහිල්ලා. ආයුධයක්වත් අතේ තිබිල නැහැ. අනේ එයාගේ මූණවත් බලන්න බැරි වෙන තරමට ගහලා ගහලා තමයි එයාව මරලා දාලා තියෙන්නේ. මගේ දරුවට තාත්තෙක් නැති කළා. අපිට මේ කරපු අපරාදෙට දැන් කරන්න දෙයක් නෑ. අපි අසරණ වුණා...”
පියා කියන කතාව
තරංගගේ සිරුර හඳුනාගෙන තිබෙන්නේ පොලිසියේ සේවය කරන ඔහුගේම ලොකු සහෝදරයා විසිනුයි. තරංගගේ ආදරණීය පියා වන කරුණාසිරි අතුකෝරළ (71) මහතා වෛරයෙන් සහ දැඩි සංවේගයෙන් යුතුව බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටිනවා...
"කිසිම කෙනෙක් අපට මේ ගැන කිවුවේ නෑ. පුතාලා කට්ටියව නිරායුධව තමයි එතනට අතෑරලා තියෙන්නේ. ඩියුටි ඕෆ් වෙලා ගෙදර එන්න හදපු ළමයව තමයි යවලා තියෙන්නේ. එස්ටීඑෆ් (STF) එකත් එක්ක ගියා නම් මැරෙන්නේ නැහැ. ඔය එක නිලධාරියෙක් ළඟ හරි ආයුධයක් තිබුණ නං මෙහෙම විනාසයක් වෙන්නේ නැහැ. දැන් කතා කරලා වැඩක් නැහැ. අපිට අපේ දරුව නැති වෙලා ඉවරයි..."
කුඩා කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට අතිදක්ෂයෙක් වුණු තරංග, කැම්පස් යන්න ලකුණු කීපයක් මදි වුණාම තැපැල් කාර්යාලයේ වැඩ කරලා තියෙනවා. හැබැයි ගෙදර සහෝදරයෝ දෙන්නෙක්ම නිල ඇඳුම් අඳින නිසා තරංගටත් තිබුණේ යුනිෆෝම් එකට පුදුම ආසාවක්.
"එක සැරයක් යුද හමුදාවට යන්න හදද්දී යුද්ධ කාලේ හින්දා මං සහතික හැංගුවා" යැයි තරංගගේ මව වන කරුණාවතී පෙරේරා (69) හඬමින් පැවසුවා. පසුව හොරණ පෞද්ගලික ආයතනයක වැඩ කරද්දී හමුවුණු ශෂිකලා (අසිනි) සමඟ ආදරයෙන් බැඳිලා විවාහ වුණු තරංග, බණ්ඩාරගම පැත්තේ ඉඩමක් අරන් ගෙයක් හදාගෙන ගියේ තමන්ගේ පුංචි පවුල ලස්සන කරන්නයි. හැබැයි ඒ ගෙදර වැඩත් තාම බාගෙටයි.
තමන් කරපු වරද මොකක්ද කියලවත් දන්නෙ නැතිව, සිරකරුවන්ගේ පුදුමාකාර පළිගැනීමකට ලක්වෙලා ජීවිතයෙන් සමුගත් බන්ධනාගාර සැරයන් තරංග, අද (09) දෙල්මෑල්ල ගම්වාසීන්ගේ මෙන්ම බිරිඳ ඇතුළු නෑසියන්ගේ සෝ සුසුම් සහ කඳුළු සාගරයක් මැද පවුලේ සුසාන භූමියේදී මිහිදන් වුණා.