ඒ, ශ්‍රෝණි මේඛලාවෙන් (ඉණ ප්‍රදේශයෙන්) එකට බද්ධ වී සිටි නිවුන් දරුවන් දෙදෙනෙකු, පැය 14ක මෙහෙයුමකින් පසු සාර්ථකව වෙන් කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සුපිරි වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වීමයි.
මෙම අසිරිමත් සැත්කම ලෝකයේ ප්‍රථම වතාවට සිදුකළ එකක් බවට පත්වන්නේ විශේෂ හේතුවක් නිසයි. මේ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකුට පමණක් පිහිටා තිබූ වකුගඩු දෙකෙන් එකක් ගලවා ඉවත් කර, එය අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කරමින් තමයි මේ වෙන් කිරීමේ සැත්කම සිදු කර තිබෙන්නේ....
ඉකුත් 2021 වසරේදී සිසේරියන් සැත්කමක් මගින් මාවනැල්ලේ පදිංචි මවකගේ කුසින් උපන් මේ බද්ධ නිවුන් දරුවන්ව වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක් කර තිබුණේ 2024 වසරේදීයි. ඉන්පසු වකුගඩුවල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වන තෙක් බලා සිට, දරුවන් දෙදෙනා සම්පූර්ණයෙන්ම වෙන් කිරීමේ මහා මෙහෙයුම ඉකුත් 10 වැනිදා සිදු කර තිබෙනවා.
උපතින් පසු වසර 05ක පමණ කාලයක් යනතුරු මේ සැත්කම නොකර බලා සිට තිබෙන්නේ සිහි නැති කර මෙවැනි බරපතල සැත්කමක් කිරීමට නම් දරුවන්ගේ බර ඊට සරිලන තත්ත්වයට පත්විය යුතු නිසයි.
නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පවසන පරිදි, මේ දරු පැටවුන් දෙන්නාව පෙරවරු 7.00 සිට රාත්‍රි 9.00 දක්වා, ඒ කියන්නේ එක දිගට පැය 14ක් තිස්සේ සිහිනැති කර තබා ගැනීමට සිදුව තිබෙනවා. සාමාන්‍ය නිරෝගී දරුවෙක් වුණත් මෙච්චර වෙලාවක් සිහිනැති කරලා ආපහු සිහිය ගැනීම ලොකු අභියෝගයක්. හැබැයි ලංකාවේ දොස්තරලා ඒ අභියෝගය ජය ගත්තේ මුළු ලෝකෙටම ආදර්ශයක් වෙමින්.
තවත් අභියෝගයක් වුණේ මේ දරුවන්ගේ කකුල් පිහිටා තිබුණේ හරස් අතට. ඒ නිසා කකුල්වලට යන ස්නායුවලට සහ ලේ ගමනාගමනයට හානියක් නොවෙන්න වෙන් කරන එක ලෙහෙසි පහසු වැඩක් වුණේ නැහැ.
මේ ඓතිහාසික මෙහෙයුම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනෙකු ඇතුළු 30 ක විතර කණ්ඩායමක් එක එකතු වෙලා තිබුණා.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය මාතුල හෙට්ටිආරච්චි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සතුටින් ප්‍රකාශ කරන්නේ මේ වන විට දරුවන් දෙදෙනාම ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. ඉදිරි දින කිහිපය තුළ ඔවුන්ව දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමටද නියමිතයි.