ඒ අනුව මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹුල් පෙරහැර අගෝස්තු මස 18 දින වීදි සංචාරය කිරීමට නියමිතයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී පැවැති විශේෂ රැස්වීමකදී තමයි දියවඩන නිලමේවරයා මේ බව රටටම අනාවරණය කළේ.
දියවඩන නිලමේවරයා පවසන පරිදි, පුරා දින 05 ක් තිස්සේ මහනුවර වීදි සරසන කුඹල් පෙරහැරෙන් අනතුරුව, කාගෙත් ආකර්ෂණය දිනාගන්නා මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 23 දින වීදි සංචාරය ආරම්භ කරනවා.
මුළු පෙරහැර මංගල්‍යයේම උත්කර්ෂවත්ම අවස්ථාව වන අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කරන්නේ නිකිණී පුන් පොහෝ දිනය යෙදෙන අගෝස්තු 27 වනදායි.
අගෝස්තු 28 වනදා අළුයම ගැටඹේ දියකපනා තොටේදී පෞරාණික චාරිත්‍රානුකූලව දියකැපීමේ මංගල්‍යය පැවැත්වීමෙන් අනතුරුව එදිනම දහල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. ඉන්පසුව දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සිව් මහා දේවාල හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු පෙරහැරින් මහනුවර ජනපති මන්දිරයට ගොස්, මෙවර පෙරහැර සාර්ථකව නිමා කළ බව දැක්වෙන සාම්ප්‍රදායික "පෙරහැර සංදේශය" ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්වනු ඇති.
මෙවර පෙරහැර නැරඹීමට දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවරට ඇදී එනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ආරක්ෂාව වෙනුවෙන්ම පොලිස් නිලධාරීන් 6000 ක් රාජකාරියේ යෙදවීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා සඳහන් කළා.
මධ්‍යම පළාතේ පොලිස් නිලධාරීන්ට අමතරව පිට පළාත්වලින් පමණක් පොලිස් නිලධාරීන් 4000 ක් නුවරට කැඳවීමට නියමිත අතර, ඒ අතර විශේෂ රාජ්‍ය නිවේදිත නිලධාරීන් 20 දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.