ඒ, මෙවර යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමේ දැවැන්ත වැඩපිළිවෙළ ලබන ජූලි මස 15 වැනිදා සිට ඉතාමත් කඩිනමින් ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
මෙවර ගොවීන්ගේ වී ටික සාධාරණ මිලකට, කිසිදු බාධාවකින් තොරව මිලදී ගැනීම සඳහා රජය විසින් අතිවිශාල මුදලක් වෙන් කර තිබීම විශේෂත්වයක්...
වී මිලදී ගැනීම් සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 6ක මුදලක් සෘජුවම වී අලෙවි මණ්ඩලයට ලබා දී තිබෙනවා. ඊට අමතරව කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමත් කිරීම වෙනුවෙන් ණය මුදල් ලෙස තවත් රුපියල් බිලියන 10ක් රජයේ බැංකු මඟින් වෙන් කර දීමට කටයුතු කර තිබෙනවා.
වී අලෙවි මණ්ඩලය හරහා රට පුරාම ක්‍රියාත්මක කෙරෙන මෙම විශේෂ මිලදී ගැනීමේ වැඩපිළිවෙළ කිසිදු ජාවාරම්කාරීත්වයකින් තොරව සාර්ථකව සිදු කිරීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ සහාය සහ අධීක්ෂණය ලබා ගැනීමට ද මේ වන විටත් කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
අස්වැන්න විකුණාගන්න බැරුව අසරණ වන ගොවි ජනතාවට රජයෙන් ලැබුණු මේ සහනයත් සමඟ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම් ඉතාමත් සාර්ථකව සිදුවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු පළ කරනවා.