තමන්ට උත්පත්ති ලබා දුන් 78 හැවිරිදි වයෝවෘද්ධ පියාට ඔහුගේම එකම අවිවාහක පුත්‍රයා විසින් උදැල්ලකින් පහර දී නිවසේ නිදන කාමරය තුළදී ඝාතනය කර ඇති බව පිළියන්දල පොලිසිය තහවුරු කරනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල, හැඩිගම ප්‍රජා මණ්ඩල පාරේ පදිංචිව සිටි විජයදාස පෙරේරා නමැති 78 හැවිරිදි දෙදරු පියෙක්.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට, එකම නිවසේ ජීවත් වූ මියගිය පියා සහ මෙම සැකකාර පුත්‍රයා අතර දිගු කාලයක පටන්ම විවිධ ආරවුල් සහ ගැටුම් පැවතී තිබෙනවා. ඊයේ (06) රාත්‍රී 11.00 ට පමණ දෙදෙනා අතර යළිත් වරක් දැඩි බහින්බස් වීමක් හටගෙන ඇති අතර, එහිදී කුපිත වූ පුත්‍රයා නිවසේ තිබූ උදැල්ලක් රැගෙන විත් නිදන කාමරය තුළදී පියාගේ හිසට සහ මුහුණට දරුණු ලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
පුත්‍රයා එල්ල කළ මෙම දරුණු පහරදීම හේතුවෙන් වයෝවෘද්ධ පියා ඇඳ මතම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සිද්ධිය වූ ස්ථානයට යන විටත් ඔහුගේ දෙපා ඇඳෙන් පිටතට වැටී තිබූ අතර, සිද්ධිය වූ නිදන කාමරයේ ඇඳ මත සහ ඇඳ පාමුල දැඩි ලෙස ලේ ගලා ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.
119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කළා.
තම පියා ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකාර පුත්‍රයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පිළියන්දල පොලිසිය විසින් මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි කැස්බෑව අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණය සහ මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබුවා. අනතුරුව, සිරුර පිළිබඳ පශ්වාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍යවරයකු ලවා පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කිරීමට නියෝග කළා.