මෙම අවාසනාවන්ත සිදුවීම දුරදිග යාමෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වී ඇති අතර, තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේ.
අද හටගත් මෙම නොසන්සුන්තාවය අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බන්ධනාගාර ජේලර්වරයෙකු, බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු සහ එක් රැඳවියෙකු බව තහවුරු වී තිබෙනවා. රාජකාරියේ නියැලී සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුටම මෙලෙස එකවර දිවි අහිමි වීම මුළු රටම කම්පනයට පත් කර ඇති සිදුවීමක් වී අවසන්.
නොසන්සුන්තාවය ආරම්භ වූ අවස්ථාවේදී තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු පළමුව මීගමුව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා. නමුත් තත්ත්වය තවදුරටත් උත්සන්න වීමත් සමඟ සුළු මොහොතකින් රෝහල්ගත කළ නිලධාරීන් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගියා.
අවසන් වාර්තා අනුව, ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 25 දෙනෙකු පමණ මේ වන විට මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිනවා.
බන්ධනාගාරය තුළ ඇති වූ මෙම හදිසි සහ බරපතළ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක නිරත වෙමින් සිටින අතර, ප්‍රදේශය පුරා දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.