අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී මෙම ඝාතනය සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් රැගෙන ආ මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මෙලෙස මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් ඇති අතර, ඔහු පොලිසිය ඉදිරියේ ඝාතනය පිළිබඳව පාපොච්චාරණයක් කර ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරුවන් සමඟ මෝටර් රථයෙන් පලා ගිය මෙම සැකකරු පසුව රහසිගතව විදේශගත වී සිටියා. ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද (Red Notice) නිකුත් කර තිබුණු පසුබිමක, ඔහු බහරේන් රාජ්‍යයේ සිට මාලදිවයින වෙත පැමිණ තිබෙනවා.
ඔහු මාලදිවයිනට පැමිණි වහාම එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ පිළිබඳව ශ්‍රී ලංකා විමර්ශන අංශ වෙත වහාම දැනුවත් කිරීමට පියවර ගත්තා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ මෙරට විශේෂ පොලිස් කණ්ඩායමක් මාලදිවයිනට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන මාලේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත දැඩි ආරක්ෂාව මධ්‍යයේ රැගෙන එනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, බටපොළ, ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්. කටුනායකදී භාර ගැනීමෙන් අනතුරුව සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් සිදුකළ වැඩිදුර විමර්ශන සහ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම ඝාතනයට අදාළව පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා.
මේ වන විට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම සැකකරු සම්බන්ධයෙන් දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, ඝාතනයේ සෙසු සැකකරුවන් සහ මීට පසුබිම් වූ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.