1867 දී ජේම්ස් ටේලර් මහත්තයා ලූල්කඳුර වත්තේ අක්කර 19කින් පටන් ගත්ත, සුද්දන්ව පවා පිස්සු වට්ටපු අපේ තේ වගාවට අද වෙලා තියෙන දේ ඇහුවොත් ඔයාලත් පුදුම වෙයි!
වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක (රුපියල් කෝටි ප්‍රකෝටි ගාණක) ආදායමක් රටට ගේන මේ කර්මාන්තය හරියට කළමනාකරණය කළොත් අවුරුදු දෙකකින් අපේ රටේ තියෙන ණය කන්දත් ගෙවලා දාන්න පුළුවන් කියලා ජාතික තේ වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සමන් ගීගනගේ මහතා කියනවා.
හැබැයි වැඩේ කියන්නේ අද වෙනකොට මේ සමස්ත කර්මාන්තයම අතළොස්සක් වුණු ධනවතුන් කිහිපදෙනෙක්ගේ ග්‍රහණයට නතු වෙලාලු. එයාලා මේක පාවිච්චි කරන්නේ තමන්ගේ සිහින සැබෑ කරගෙන ලෝකේ සල්ලිකාරයන්ගේ ලිස්ට් එකේ උඩටම යන්න විතරයි කියලා තමයි සභාපතිවරයා චෝදනා කරන්නේ.
රටේ මුළු තේ නිෂ්පාදනයෙන් 70%ක්ම කරලා දෙන්නේ ලක්ෂ 5ක් විතර වෙන අපේ 'කුඩා තේ ගොවියෝ' ටික. හැබැයි අද වෙනකොට එයාලාට යන එන මං නැති වෙලා. පහුගිය අවුරුදු 5 ඇතුළත විතරක් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ තේ කර්මාන්තශාලා 250ක්ම වැහිලා ගිහින්! මේවා අතර දවසකට තේ දළු කිලෝ 30,000ක් විතර අඹරපු ලොකු ෆැක්ටරිත් තියෙනවාලු. මේ තත්ත්වයට ප්‍රධාන හේතු විදිහට ගොවියෝ පෙන්වලා දෙන්නේ:
අහස උසට ගිය වියදම්: දෛනික කම්කරු කුලිය රුපියල් 3500ක් දක්වා ඉහළ යාම සහ පොහොර මිටියක් රුපියල් 18,000ක් දක්වා වැඩි වීම.
අසාධාරණ බදු: තේ අපනයනයට 18% ක අතිරේක බද්දක් පැනවීම.
මිල නොගෙවීම: තේ කොමසාරිස්වරයා නියම කරපු මුදලවත් දළු කිලෝවට නොගෙවා සමාගම් විසින් ගොවියන්ව සූරාකෑම.
සමස්ත කර්මාන්තයෙන් ලක්ෂ 10ක් විතර ජීවිකාව ගැටගහගන්නවා. මාසෙකට ඩොලර් මිලියන 110-120ක් රටට ගේන්න දාඩිය හෙළන මේ කුඩා තේ ගොවියා අද වගාව නඩත්තු කරගන්න බැරුව අසරණ වෙලා හිටියත්, බලධාරීන් ඇස් කන් පියාගෙන "සීතල කාමරවල ලගිනවා" කියලා සමන් ගීගනගේ මහතා දැඩිව විවේචනය කරනවා.