මාස ගණනාවක් තිස්සේ කතාබහට ලක්වුණු මේ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව දැන් අලුත්ම තොරතුරු අධිකරණයෙන් වාර්තා වෙලා තියෙනවා.
මාස 6කට වැඩි කාලයක් රිමාන්ඩ් එකේ ඉඳලා, දැනට දැඩි ඇප කොන්දේසි මත එළියට ඇවිත් ඉන්න මේ අපරාධයේ ප්‍රධාන සැකකරුට පසුගියදා උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා ඉදිරියේදී බරපතළ අධිචෝදනා දෙකක් භාරදීලා තියෙනවා.
මේ බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලබලා ඉන්නේ ගල්නෑව, නව නගරයේ පදිංචි කේ. බී. මධුරංග රත්නායක නමැති පුද්ගලයෙක්. වැඩේ කියන්නේ මොහු සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. කලක් යුද හමුදාවේ සේවය කරපු හිටපු හමුදා සෙබළෙක්! ඒ වගේම ඊට කලින් චීවරයක් දරාගෙන හිටපු හිටපු භික්ෂුවක් බවත් සඳහන් වෙනවා.
මේ නඩුවේ තියෙන බරපතළකම සහ සංවේදී බව නිසාම, සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වන මූලික නඩු විභාගය (ලඝු නොවන) පවා නොපවත්වා, නීතිපතිවරයා විසින් මේක 'විශේෂ නඩු කටයුත්තක්' විදියට සලකලා කෙළින්ම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරලා තියෙනවා. 2026 මැයි 22 වෙනිදා රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු මහත්මිය විසින් තමයි මේ අධිචෝදනා ගොනු කරලා තියෙන්නේ.
නමුත් අධිකරණයේදී අධිචෝදනා කියවා දුන්නට පස්සේ විත්තිකරු තමන්ගේ නීතිඥයා මාර්ගයෙන් දැනුම් දීලා තියෙන්නේ "තමන් මේ චෝදනාවලට නිවැරදිකරු" කියලයි.
මේ අපරාධය ඔප්පු කරන්න අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන නඩු භාණ්ඩ ලැයිස්තුව දැක්කමත් ඇඟ කිලිපොලා යනවා. ඒ තරමට මේ සිද්ධිය පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා.
ජංගම දුරකතනයක්, පිහියක්, ඇඳුම් කිහිපයක්, සිද්ධිය වූ ස්ථානයේ තිබුණු ඇඳ ඇතිරිල්ලක්, සැකකරුගේ සහ වින්දිතයාගේ කෙස් සාම්පල, රුධිර සාම්පල සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තාව.
ඒ වගේම මේ නඩුව වෙනුවෙන් සාක්ෂිකරුවන් 42ක් නම් කරලා තියෙනවා. ඒ අතරට අනුරාධපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සම්පත් සේනතුංග, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වගේම රෝහලේ වෛද්‍යවරුන් සහ සිවිල් පුද්ගලයින් රැසක් ඇතුළත්.
මේ ආන්දෝලනාත්මක නඩුව එළඹෙන ජූලි මස 20 වෙනිදා පළමු වරට විභාගයට ගන්න මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කරලා තියෙනවා. එදාට සාක්ෂි දෙන්න පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන්ට මේ වෙද්දිත් සිතාසි නිකුත් කරලයි තියෙන්නේ. මුළු රටම ඇස් අරන් බලන් ඉන්න මේ අපරාධයේ ඇත්ත නැත්ත එදාට එළියට ඒවි!