කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips) සඳහා ලොව පුරා පවතින දැඩි ඉල්ලුම සහ සැපයුම් හිඟය හමුවේ, සිය නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට ඇපල් (Apple) සමාගම සැලසුම් කරමින් සිටින බව එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) ටිම් කුක් (Tim Cook) පවසනවා.
'වෝල් ස්ට්‍රීට් ජර්නල්' (Wall Street Joual) පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දී ඇත්තේ, දත්ත මධ්‍යස්ථාන (Data Centers) සඳහා AI තාක්ෂණය භාවිතය ඉහළ යාම හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය කරන සමාගම් අතර පවතින දැඩි තරඟකාරිත්වය හමුවේ මෙම උපාංගවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
පවතින තත්ත්වය හමුවේ මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත්, පාරිභෝගිකයන් වෙත පැමිණෙන බර අවම කිරීමට සමාගම උපරිම උත්සාහයක් ගත්තද, වත්මන් තත්ත්වය තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවත් හෙතෙම අවධාරණය කළා.
එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිය ධුරයේ වගකීම් ජෝන් ටර්නස් (John Teus) වෙත භාරදීමට නියමිත ටිම් කුක් මහතා, මිල ගණන් ඉහළ නංවන නිශ්චිත දිනයක් හෝ ඊට බලපාන නිෂ්පාදන මොනවාදැයි මෙහිදී අනාවරණය නොකළ නමුත්, ඇපල් සමාගම සිය ප්‍රථම නම්‍යශීලී (Foldable) අයිෆෝන් මාදිලිය සහ iPhone 18 Pro සහ Pro Max උපාංග එළඹෙන සැප්තැම්බර් මාසයේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.
විශේෂයෙන්ම AI සේවාදායකයන් (AI Servers) සඳහා වැඩි වශයෙන් භාවිත වන 'High-bandwidth memory' (HBM) සඳහා ගෝලීය සැපයුම වෙන් කිරීම නිසා පාරිභෝගික උපාංග සඳහා වන DRAM මතක චිප් වෙළඳපොළ දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු කියා සිටියා.
මෙම සැපයුම් අර්බුදයට විසඳුමක් ලෙස ඇපල් සමාගම සතු මූල්‍ය සංචිත භාවිත කරමින් මතක චිප් සැපයුම ඉහළ නැංවීමට සූදානම් වුවද, තමන්ගේම චිප් නිෂ්පාදනාගාර ඉදිකිරීමට කිසිදු සැලසුමක් නොමැති බවත්, ජාතික ආරක්ෂක නීති යටතේ සීමා පනවා ඇති චීන මතක චිප් සමාගම් සමඟ කටයුතු කිරීම ඇතුළු සියලු විකල්ප කෙරෙහි රජයන් අවධානය යොමු කළ යුතු බවත් ඇපල් ප්‍රධාන විධායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.