සැලූන් එකක් ඇතුළට කඩා වදින පුද්ගලයෙක් එහි අයිතිකරුට තියුණු ආයුධයකින් දරුණු ලෙස කොටන ඒ දර්ශන පෙළෙන් මුළු රටම භීතියට පත් වුණා.
මෙන්න මේ කියන මැදවච්චියේ සැලූන් හිමිකරුට මාරාන්තික ප්‍රහාරය එල්ල කළ 29 හැවිරිදි ප්‍රධාන සැකකරු, ප්‍රහාරයට යොදාගත් තියුණු ආයුධයත් සමඟම ඊයේ (ජූනි 17) මැදවච්චිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජූනි 09 වැනිදා සිදුවූ මෙම බිහිසුණු ප්‍රහාරයෙන් පසු විවිධ මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණේ මෙය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක් විසින් "කප්පම් ඉල්ලා" සිදුකළ දරුණු පහරදීමක් බවයි.
නමුත් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී ඒ සියලු කතා බොරු කරමින් සැබෑ ඇත්ත එළියට පැමිණ තිබෙනවා. පොලිසිය පවසන්නේ මෙය කප්පම් ගැනීමක් නොව, සැකකරු සහ සැලූන් හිමිකරු අතර කලක සිට පැවති "පැරණි පෞද්ගලික ආරවුලක්" දුරදිග යාමෙන් සිදුවූවක් බවයි!
අනතුර සිදුවූ දිනට පසුදාම (ජූනි 10) මේ පිළිබඳව මැදවච්චිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. වීඩියෝ දර්ශන ඔස්සේ රටම කැළඹූ නිසා වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම්, දින 8ක් තිස්සේ ප්‍රදේශයෙන් පලා ගොස් සැඟවී සිටි මැදවච්චිය ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි මෙම සැකකරුව ඉතා සූක්ෂම ලෙස වටලා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරදීමට යොදාගත් මාරාන්තික තියුණු ආයුධයද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ඉදිරි අධිකරණ කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.