මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කළ ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක්. වඩාත්ම කම්පා කරවන කරුණ වන්නේ, ඇයගේ පෙම්වතා විසින් ඇගේ මළ සිරුර මෝටර් රථයක ඉදිරිපස අසුන දිගහැර, කළු පැහැති රෙද්දකින් වසා දමා පලාගොස් තිබීමයි.
සැකකාර පෙම්වතා මහනුවර ගන්නෝරුවේ පදිංචි දිනෙත් දිසානායක නැමැති මෘදුකාංග ඉංජිනේරුවෙක් (Software Engineer). මීට මාස 8කට පෙර ආරම්භ වූ මේ ප්‍රේම සබඳතාවය අවසන් වූයේ දරුණු ඛේදවාචකයකින්. මේ තරුණිය සිය පෙම්වතා සමඟ කැනඩාවට යාමේ අපේක්ෂාවෙන්, බැංකුවලින් සහ පුද්ගලයන්ගෙන් පොලියට රුපියල් කෝටි එකහමාරක පමණ දැවැන්ත මුදලක් ලබාගෙන පෙම්වතාට දී තිබෙනවා.
නමුත් විදේශගත වීම ප්‍රමාද වෙද්දී, ණයහිමියන් මුදල් ඉල්ලා කරදර කිරීම නිසා ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව ජූනි 3 වැනිදා නුවරඑළියේ පිහිටි මහල් නිවාසයකට පැමිණ තිබෙනවා. ඇය මියයන්නට පෙර සිය සහෝදරයාට සහ අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට අමතා තමන් දින ගණනාවකින් ආහාර ගෙන නොමැති බවත්, දැඩි පීඩනයක සිටින බවත් පවසා තිබුණා.
ඉකුත් 16 වැනිදා රාත්‍රී 9.50ට පමණ මෙම තරුණිය සිටි නිවසට සැකකාර පෙම්වතා පැමිණෙන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබෙනවා. එහි මිනිත්තු 40ක් පමණ රැඳී සිටි ඔහු, රාත්‍රී 10.30ට පමණ සිහිසුන්ව සිටි තරුණියව වඩාගෙන ගොස් මෝටර් රථයක දමාගෙන රැගෙන ගොස් තිබෙනවා.
තවත් පුදුම සහගත කරුණක් වන්නේ, තරුණියගේ දේහය රැගෙන යාමට මෙම ඉංජිනේරු පෙම්වතා භාවිත කර ඇත්තේ ඔහුගේ අම්පාර ප්‍රදේශයේ පදිංචි තවත් පෙම්වතියකට අයත් මෝටර් රථයක් වීමයි..
තරුණිය අතුරුදන් බවට සහෝදරයා පැමිණිලි කර තිබූ පසුබිමක, තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. රෝහල අසල රථගාලේ ඇති කාර් එකක මළ සිරුරක් ඇති බව පවසන්නේ වෙන කවුරුත් නොව, මළ සිරුර එතැනට ගෙනැවිත් දැමූ ඇගේම පෙම්වතායි..
පොලිසිය ගොස් බලද්දී අගුලු දමා තිබූ කාර් එක තුළ තිබී කළු රෙද්දකින් වැසූ ශම්‍යාගේ දේහය හමුව තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් විවෘත තීන්දුවක් ලැබී ඇති අතර, මෙය දරුණු ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සිටින සැකකාර පෙම්වතා වන ගන්නෝරුවේ පදිංචි දිනෙත් දිසානායක නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා. ඔබට යම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්න.