ලන්ඩන් බලා පියාසර කිරීමට ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී තත්පර 32ක් වැනි කෙටි කාලයකදී වෛද්‍ය විද්‍යාලයීය නේවාසිකාගාර සංකීර්ණයක් මතට කඩා වැටුණු Air India සමාගමට අයත් AI171 ගුවන් යානා අනතුර සිදුවී ගතවූයේ වසරක්. මිනිස් ජීවිත 260ක් බිලිගත් මෙම මහා විනාශයට සැබෑ හේතුව කුමක්දැයි ස්ථිරවම ප්‍රකාශ කිරීමට විමර්ශකයන්ට තවමත් නොහැකි වී තිබෙනවා.
අනතුර සිදුව වසරක් ගතවෙද්දී, ඉන්දියාවේ ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) නිකුත් කළ නවතම වාර්තාවෙන් ද අනතුරට හේතුව පැහැදිලිව අනාවරණය කර නොමැති අතර, බ්ලැක් බොක්ස් (Black Box) දත්ත, එන්ජින් කොටස් සහ නඩත්තු වාර්තා පිළිබඳ පුළුල් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන බව පමණක් එහි සඳහන් වෙනවා.
තත්පර 30කදී එන්ජින් ක්‍රියාවිරහිත වූයේ කෙසේද?පසුගිය වසරේ ජූලි මාසයේ නිකුත් වූ මූලික විමර්ශන වාර්තාවලට අනුව, ලොව දියුණුම මගී ප්‍රවාහන ජෙට් යානයක් වන මෙම Boeing 787 Dreamliner යානය ගුවන්ගත වී තත්පර කිහිපයකදී එහි ඉන්ධන පාලන ස්විචයන් (Fuel-control switches) එකවරම "Cut-off" හෙවත් ක්‍රියාවිරහිත වන ස්ථානයට පත්ව තිබුණා. මේ හේතුවෙන් එන්ජින් දෙකටම සැපයෙන ඉන්ධන සම්පූර්ණයෙන්ම ඇනහිට යානය ගුවන්ගත වී තත්පර 32කදී බිමට කඩා වැටී තිබුණා. සාමාන්‍යයෙන් ගුවන්ගත වීමේදී මෙවැනි අනතුරක් සිදුවීමේ සම්භාවිතාව බෝයිං සමාගමට අනුව 14%ක් වන අතර එයාර්බස් සමාගමට අනුව එය 5%ක් තරම් ඉතා අවම අගයක්.
නියමු කුටියේ ශබ්ද පටිගත කිරීම් (Cockpit Audio) මතු කරන බරපතළ සැකය මෙම අනතුර පිටුපස ඇති අභිරහස වඩාත් සංකීර්ණ කරන්නේ නියමු කුටියෙන් හමුවූ ශබ්ද පටිගත කිරීම් නිසයි.
එහිදී එක් නියමුවෙකු අනෙක් නියමුවාගෙන් "ඔයා ඇයි ඒක කළේ?" යනුවෙන් ප්‍රශ්න කරන අතර, අනෙක් නියමුවා "මම ඒක කළේ නැහැ" යනුවෙන් පිළිතුරු දෙන හඬ සටහන්ව තිබුණා. මෙම සංවාදයේ යෙදෙන්නේ කවුරුන්දැයි විමර්ශකයන් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැතත්, බොහෝ ගුවන් සේවා විශේෂඥයන් සැක කරන්නේ මෙය නියමු කුටිය තුළ සිදුවූ කිසියම් කතාබහක් බවයි.
යානයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ස්වයංක්‍රීයව ඉන්ධන විසන්ධි වූවාද, නැතහොත් නියමුවෙකු අතින් සිදුවූ බරපතළ වැරදීමක්ද යන්න පිළිබඳව අවසන් නිල විමර්ශන වාර්තාව නිකුත් වනතුරු සමස්ත ලෝකයම බලා සිටිනවා.
මූලාශ්‍ර - බීබීසී ප්‍රවෘත්ති