කාලය එක්ක රේස් දුවමින් විෂය නිර්දේශය කවර් කරගන්න දරුවො වගේම ගුරුවරුත් විඳින දුක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.
අන්න ඒ දරුවන්ගේ ප්‍රශ්නය ගැන ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවේදී ලොකු කතාබහක් ඇතිවුණා. මේ ගැන හඬක් නැඟුවේ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතායි.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදාළ බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියේ මෙවර උසස් පෙළ විභාගය සඳහා නියමිත දිනයට වඩා තවත් මාසයක හෝ එකහමාරක පමණ අමතර කාලයක් දරුවන්ට ලබාදෙන ලෙසයි. ඔහු ඒ ගැන පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කළේ මෙන්න මේ විදියටයි.
"මෙවර උසස් පෙළට පෙනී සිටින සිසුන්ගේ අධ්‍යයන කටයුතු පටන් ගත්තේ 2024 නොවැම්බර් මාසයේ. උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීමට මාස 24ක කාලයක් ලැබෙනවා. නමුත් මෙවර ලැබී තිබෙන්නේ මාස 18ක පමණ කාලයක්. නමුත් විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට දින නියම වී තිබෙන නිසා අදාළ විෂය නිර්දේශයන් වේගයෙන් ආවරණය කරන්න සිදු වෙලා තියෙනවා. මාස 24 විෂය නිර්දේශය මාස 18කින් කරන්න වෙනවා. ඒ නිසා එය දරුවන්ට අනවශ්‍ය පීඩනයක්. ඒ නිසා විභාගය සඳහා මාසයක එකහමාරක කාලයක් දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා."
උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නය ගැන පමණක් නොනැවතී, ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් මේ දිනවල මුහුණ දී සිටින තවත් බරපතළ ගැටලු දෙකක් ගැනත් මන්ත්‍රීවරයා මෙහිදී සභාවේ අවධානයට යොමු කළා. ඔහු එහිදී මේ බවද ප්‍රකාශ කර සිටියා.
"ඒ වගේම පහ ශ්‍රේණියේ ශිෂ්‍යාධාර පෙබරවාරි මාසයේ සිට ලැබිලා නැහැ. එම දීමනාව ලබාදීමටත් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ප්‍රාථමික දරුවන්ගේ උදෑසන ආහාර සඳහා වන මුදල ප්‍රමාණවත් නැති බව කියවෙනවා. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න."
මේ කතාව, කාලය මදිවීමේ පීඩනයෙන් මිරිකී සිටින ඒලෙවල් කරන දරුවන්ට වගේම, ශිෂ්‍යත්ව දීමනා නොලැබුණු දරුවන්ගේ දෙමවුපියන්ටත් යම් බලාපොරොත්තුවක් ගෙන දෙන ආරංචියක් වේවි. මන්ත්‍රීවරයාගේ මේ ඉල්ලීම්වලට බලධාරීන් කන් දීලා දරුවන්ට කඩිනමින් සහනයක් ලබා දෙයිද කියලා අපි ඉදිරියේදී බලාපොරොත්තු සහගතව බලා සිටිමු!