සුප්‍රසිද්ධ සැක්සෆෝන් (Saxophone) වාදකයෙකු වන ප්‍රවීණ ජෑස් සංගීතඥ ප්ලෑස් ජොන්සන් (Plas Johnson) අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඔහුගේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි නිවසේදීයි. මිය යන විට මෙම සංගීත ශිල්පියා 94 වැනි වියෙහි පසුවුණා.
ඔහුගේ දූ දරුවන් වන එරික් ජොන්සන් සහ ස්ටෙෆනි ඕලිවර් තහවුරු කළ පරිදි, ජොන්සන් පසුගිය ජූලි 15 වන දින අභාවප්‍රාප්ත වී ඇති අතර, ඔහුගේ 95 වන උපන්දින යෙදී තිබුණේ පසුගිය ජූලි 21 වන දිනටයි.
එම සැමරුමට දින කිහිපයකට පෙර මෙසේ සමුගෙන තිබුණා. මෑත කාලය වන තුරුම ඔහු සක්‍රියව සංගීතයේ නිරත වී ඇති අතර, මෑතකදී ද ඔහු සංගීත ප්‍රසංගයකට සහභාගී වී තිබුණා.
ලෝකප්‍රකට ‘Pink Panther’ චිත්‍රපට තේමා වාදනය හරහා ඔහු දිනාගත් රසික ආදරය අති මහත්. මුලින් ගායකයෙකු ලෙස කටයුතු කළ ඔහු පසුව සැක්සෆෝන් වාදනය හදාරනු ලැබූ අතර මේ නිසා ඔහුට හිමිවුණේ විශාල ආකර්ශනයක්.
1931 වසරේ සංගීතමය පසුබිමක් සහිත පවුලක උපත ලැබූ ජොන්සන්, වයස අවුරුදු 10 තරම් කුඩා වියේදීම වෘත්තීය මට්ටමින් සංගීත ක්ෂේත්‍රයට පිවිසියා. 1965 දී ලොස් ඇන්ජලීස් වෙත පැමිණි ඔහු Capitol Records ආයතනය සමඟ එක්වූ අතර, නැට් කිං කෝල් (Nat King Cole), ෆ්‍රෑන්ක් සිනාට්‍රා (Frank Sinatra) සහ පෙගී ලී (Peggy Lee) වැනි ලොව සුප්‍රකට ගායක ගායිකාවන්ගේ ගීත සඳහා වාදනයෙන් දායක වෙන්නට මෙම ශිල්පියාට හැකිවුණා.
ජොන්සන්ගේ අභාවයත් සමඟ ලොව පුරා සංගීතඥයන් සහ රසිකයන්ගෙන් ඔහුට උපහාර පණිවිඩ ගලා එන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ..