පුවර්ටෝ රිකෝ මුහුදු තීරයට කඩා වැටී පුද්ගලයින් 52 දෙනෙකුට දිවි අහිමි කළ පෑන් ඇම් ගුවන් යානා අනතුරෙන් වසර 74කට පසුව, එම යානයේ නටබුන් සමුද්‍ර පතුලේ තිබී සොයා ගැනීමට ගුවන් යානා ගවේෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
ඩිස්කවරි (Discovery) නාලිකාවේ “Expedition Unknown” වැඩසටහන ඇතුළු තවත් පාර්ශ්වයන් කිහිපයක් සමග එක්ව එයාර්/සී හෙරිටේජ් පදනම (Air/Sea Heritage Foundation) විසින් පුවර්ටෝ රිකෝහි උතුරු වෙරළට ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගර පතුලේ තිබී පෑන් ඇම් හි “Clipper Endeavor” යානයේ නටබුන් පසුගිය මාසයේදී මෙසේ සොයාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
1952 අප්‍රේල් 11 වැනිදා මගීන් 64 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සමග පුවර්ටෝ රිකෝ වෙතින් ගුවන් ගත වී නොබෝ වේලාවකින් මුහුදට කඩා වැටුණු ඩග්ලස් ඩීසී-4 (Douglas DC-4) වර්ගයේ අදාළ ගුවන් යානය නතර වූයේ කොතැනද යන්න පිළිබඳ පැවති අබිරහස වසර 74කට පසුව මෙසේ විසඳී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අනතුර සිදුවූ අවස්ථාවේදී සියලුම මගීන්ගේ ජීවිත ගැලවුණද, මුදාගැනීමට හැකිව තිබුණේ පුද්ගලයින් 17 දෙනෙකු පමණයි.
ගිලී ගිය ගුවන් යානය සමග අනෙකුත් සියලු දෙනාම අතුරුදහන් වී ඇති අතර, එය ගුවන් ගමනට පෙර ලබා දෙන ආරක්ෂිත උපදෙස් මගහැරීම නිසා සිදු වූවක් බවටයි විමර්ශකයින් පෙන්වා දී ඇත්තේ.
පසුව ගුවන් සේවා කර්මාන්තයේ විශාල වෙනස්කම් ඇති කිරීමට ද මෙම සිදුවීම හේතු වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඩීප් සී විෂන් (Deep Sea Vision) සමාගම ද සම්බන්ධ වූ මෙම ගවේෂණ කණ්ඩායමට, නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ යුතු සෝනාර් (high-resolution sonar) උපකරණ භාවිතයෙන් ජූනි 02 වැනිදා මුහුදු මට්ටමේ සිට අඩි 2,000ක් පමණ යටින් ඇති මුහුදු පතුලේ තිබී මෙම නටබුන් සොයාගත් බවටයි සඳහන් වෙන්නේ.
සෝනාර් පද්ධතියක් සහිත පර්යේෂණ නෞකාවක් අහඹු ලෙස මෙම ගවේෂණ කණ්ඩායම සලකුණු කළ සෙවුම් කලාපය හරහා ගමන් කර ඇති අතර, සෙවීම් සඳහා සහාය වීමට පැය 48ක කාලයක් නතර වීමට එම නෞකාව එකඟ වී තිබෙනවා.
ඒ අනුවයි පැය 30කට පමණ පසුව මෙම නටබුන් සොයාගෙන ඇත්තේ.
එම ස්ථානය අනතුරින් මියගිය පිරිසගේ සුසාන භූමියක් වන බැවින්, මෙම නටබුන් ගොඩගැනීමට හෝ ඒවාට කිසිදු බාධාවක් කිරීමට සැලසුමක් නොමැති බව “Expedition Unknown” හි ප්‍රකාශකයෙකු CNN පුවත් සේවය වෙත පවසා තිබෙනවා.
එයාර්/සී හෙරිටේජ් පදනම මේ වන විට පුවර්ටෝ රිකෝ රජය සමඟ එක්ව මෙම නටබුන් පවතින ස්ථානයේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටින අතර, අනතුරින් මියගිය අය සිහිපත් කිරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීමට ද යෝජනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.