ඒ තමයි කොළඹ ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමයේ (St. Bridget's Convent) සංගීත අංශයේ දැරියන් සිංගප්පූරු ජාත්‍යන්තර ගායනා හා සංගීත උළෙලේදී (SICF 2026) විශිෂ්ට දක්ෂතා දක්වමින් පදක්කම් 3ක්ම දිනාගෙන අපේ රටට මාරම අභිමානයක් ගෙනත් දීපු එක!
මේ තරගයට ලංකාවෙන් ගිය කණ්ඩායම නම් පොඩිපහේ එකක් නෙමෙයි. සිසුවියන් 175 දෙනෙකුගෙන් සමන්විත මේ දැවැන්ත කණ්ඩායම, මුළු තරගාවලියටම සහභාගී වුණු විශාලතම කණ්ඩායම් අතරින් එකක් විදිහටත් කැපී පෙනුණා. ඒ තරම් ලොකු කණ්ඩායමක් එකතුවෙලා වේදිකාවේ කරපු විස්මිත නිර්මාණවලට මුළු සිංගප්පූරුවම මවිත වෙලා.
අංශ 3ක් යටතේ තමන්ගේ නර්තන, සංගීත සහ ගායන හැකියාවන් ලෝකෙටම පෙන්නපු මේ දක්ෂ දැරියන්, අංශ තුනෙන්ම පදක්කම් දිනාගත්තේ මෙන්න මේ විදිහටයි:
රන් පදක්කම: (Equal Voices) අංශයෙන්
රිදී පදක්කම: (Musica Sacra Open) අංශයෙන්
රිදී පදක්කම: (Folklore Open) හෙවත් ජනශ්‍රැති අංශයෙන්
මේ තරගයේදී ජාත්‍යන්තර විනිසුරුවන්ගේ වගේම එතන හිටපු ප්‍රේක්ෂකයින්ගේ වැඩිම අවධානය සහ ඉහළම ඇගයීම දිනාගන්න සමත් වෙලා තියෙන්නේ ජනශ්‍රැති අංශයෙන් (Folklore Open) ඉදිරිපත් කරපු අංගයයි. අපේ රටේ පාරම්පරික තනු, රංග වින්‍යාසයන් සහ සංගීත රටා මුසු කරලා ඔවුන් වේදිකාවට ගෙනාපු ඒ අපූරු අංගය හැමෝගෙම ඇස් පිනවන්න සමත් වෙලා තියෙනවා.
මේ ඓතිහාසික ජයග්‍රහණය පිටුපස සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, සිංගප්පූරු-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය, දෙමාපියන්, ආදි ශිෂ්‍යාවන් වගේම අනුග්‍රාහකයන්ගේ ලොකු කැපවීමක් සහ සහයෝගයක් තිබුණා.