ගෙදරට බරක් නොවී ජීවිතය ගැටගසා ගන්න වෙහෙසුණු මේ අහිංසකයන්ට අවසානයේ උරුම වුණේ හිතාගන්නවත් බැරි අවාසනාවන්ත අකල් මරණයක්.
මෙසේ දිවි අහිමි වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි මාරියෝ එඩ්වඩ් කියන්නේ ඒ ආයතනයේ අවුරුදු 20ක පමණ කාලයක සිට සේවය කළ අයෙක්. එහි සුපරික්ෂකවරයෙකු ලෙස කටයුතු කළ ඔහු, එම කර්මාන්තශාලාව තමන්ගේම තැනක් මෙන් රැකබලා ගත් පරිණත සේවකයෙක්. නමුත් ඒ ආදරණීය මතකයන් විනාඩි ගණනකින් ගින්නට බිලි වුණා.
දෙනියාය ප්‍රදේශයේ පදිංචි සහන් උදාරට වයස අවුරුදු 19යි. නැගණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සහෝදරයා වූ සහන්, පවුලට ශක්තියක් වෙන්න මේ රැකියාවට ඇවිත් තාම මාස 6යි.
ගින්න හටගත් මොහොතේ තමන්ගේ ජීවිතය බේරාගෙන පැන යන්න ඉඩ තිබුණත්, සහන් කළේ උඩ තට්ටුවේ සිටි තමන්ගේ හොඳම යහළුවන්ව බේරාගන්න ආපසු ගින්න මැදට දිව යාමයි.
සහන්ගේ ළඟම නෑදෑයෙකුගේ හඬා වැටෙමින් කී කතාව...
" පුතා යාලුවෝ දෙන්නෙක් එක්ක ගිහින් තමයි එතන වැඩ කළේ... කෑම කාලා ඒ දෙන්නා උඩ තට්ටුවට යනකොට පොඩි ගින්නක් වගේ ඇවිලෙනකොට දුව කියලා තියෙනවා 'මල්ලි අපි මෙතනින් ඉක්මනට පැනගමු' කියලා... එයා එතනින් පල්ලෙහාට යද්දිම පුතා උඩට දුවලා තියෙනවා යාලුවෝ තුන්දෙනෙක් ඉන්නවා කියලා... එතනින් එහාට මොකක් වුණාද කියලා මම දන්නේ නැහැ..."
දෙනියායේම පදිංචි දිලිප් මධුසංඛ (අවුරුදු 19) මේ රැකියාවට ඇවිත් තිබුණේ අනතුර සිදුවීමට දින 4කට කලින්. සහන්ගේ පාසල් මිතුරා වූ දිලිප්, මිතුරාගේ මාර්ගයෙන්මයි මේ රැකියාවට සම්බන්ධ වුණේ. පිරිමි ළමයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා වූ දිලිප්ගේ අකල් වෙන්වීම මුළු ගමම කඳුළින් තෙමී යන්නට හේතු වුණා.
දිලිප්ගේ ඥාතියෙකු පැවසූ අදහස්
"දැන් දවස් දෙක තුනකට කලින් තමයි මේ ළමයා රස්සාවට ගියේ... අපිට යනකොටත් කියලා ගියේ.. මේ ළමයා නැති වුණ එක ලොකු පාඩුවක්... ඇත්තටම ගොඩක් දුකයි..."
මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි වරධරාජ් දමයන්ති (අවුරුදු 26) දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවායි. ඇයත් මේ රැකියාවට ඇවිත් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් වෙන්ව ගියා.
දමයන්තිගේ ඥාතියෙක් දැක්වූ අදහස...
"මගේ අයියගේ දුව... එයා මාස හයක් වෙනවා කොළඹ ගිහිල්ලා වැඩ කරලා... වෙච්ච සිද්ධියෙන් එයා නැතිවෙලා ගිහිල්ලා..."
අටකලම්පන්න ප්‍රදේශයේ පදිංචි සචින් දිල්ෂාන් (අවුරුදු 24) පවුලේ බාලයායි. විදේශගත වී තමන්ගේත් පවුලේත් සිහින සැබෑ කරගන්න පෙරුම් පිරූ සචින්, රුමේනියාවේ රැකියාව සඳහා වීසා බලපත්‍රය ලැබෙන තෙක් සති දෙකකට පමණ පෙරයි මේ කෙටි කාලීන රැකියාවට සම්බන්ධ වුණේ. ඒත් ඒ ලස්සන සිහින සියල්ල ගිනි දැල් අතර අළු වී ගියා.
තමන්ගේ පවුල ගොඩගන්න, ජීවිතය දිනන්න ආපු මේ අහිංසක ජීවිත 5ම අද අපෙන් සදාකාලයටම සමුගෙන අවසන්...