පසුගියදා පැවැත්වුණු විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය නැරඹීමට පැමිණි රාජකීය පවුලේ සාමාජිකයන් කෙරෙහි ලෝකයේම අවධානය යොමු වුණා. එහිදී ජෝර්ජ් කුමරුගේ කදීම ඇඳුම් විලාසිතාව මෙන්ම, චාලට් කුමරිය (Princess Charlotte) පැළඳ සිටි සරල එහෙත් සුන්දර ස්වර්ණාභරණ විලාසිතාව ගැන බොහෝ දෙනෙක් කතා වෙන්න පටන් ගෙන තිබෙනවා.
නිල් පැහැති ගවුමකින් සැරසී සිටි චාලට් කුමරියගේ අතෙහි තිබූ සියුම් රන් චාම් අත් පළඳනාව (Gold Charm Bracelet) දුටු රාජකීය රසිකයන්ට වහාම මතක් වූයේ ඇගේ අභාවප්‍රාප්ත මිත්තණිය වන ඩයනා කුමරියයි.
1981 වසරේ පැවති ඔවුන්ගේ විවාහයෙන් පසුව එවකට චාල්ස් කුමරු විසින් ඩයනා කුමරියට මෙවැනිම රන් චාම් අත් පළඳනාවක් තෑගි කර තිබුණා. ඉන්පසුව ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා සනිටුහන් කරමින් විවිධ හැඩැති කුඩා රන් ආභරණ මෙයට එකතු කිරීමට චාල්ස් කුමරු කටයුතු කළා.
එලෙස එකතු කරන ලද සුවිශේෂී සලකුණු කිහිපයක් අතර, ශාන්ත පාවුළු දේවස්ථානයේ කුඩා ආකෘතියක්, පෝලෝ හිස්වැස්මක්,
බැලේ සපත්තු යුවළක්
විලියම් සහ හැරී කුමාරවරුන්ගේ උපතින් පසුව ඔවුන් වෙනුවෙන් එකතු කළ 'W' සහ 'H' අකුරු යනාදිය අයත් වෙනවා.
මෙවර විම්බල්ඩන් තරගාවලියේදී චාලට් කුමරිය පැළඳ සිටි අත් පළඳනාවේ කුඩා Shell-shaped හැඩැති රන් සලකුණු කිහිපයක් දක්නට ලැබුණා.
ඩයනා කුමරියගේ අතිශය පෞද්ගලික සහ හැඟීම්බර ස්වර්ණාභරණ එකතුව සමඟ මෙය බොහෝ සෙයින් සමාන බවයි විචාරකයන් පවසන්නේ.
චාලට් කුමරිය මෙවැනි පළඳනාවක් භාවිතා කළ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසරේ විම්බල්ඩන් පිරිමි අවසන් මහා තරගය නැරඹීමට පැමිණි අවස්ථාවේදීද ඇය සුවිශේෂී Pandora අත් පළඳනාවක් පැළඳ සිටියා.
එහි ඇගේ උපන් මාසය වන මැයි මාසය නියෝජනය කරන කොළ පැහැති එමරල්ඩ් (Emerald) මැණිකක් සහ ඇය වඩාත්ම ප්‍රිය කරන ‘The Lion King’ චිත්‍රපටයේ එන 'නාලා' (Nala) ගේ රෝස් ගෝල්ඩ් රූපයක් අඩංගු වුණා.
රාජකීය විලාසිතා නිරීක්ෂකයන් පවසන්නේ චාලට් කුමරිය සිය ඇඳුම් පැළඳුම් හරහා ඩයනා කුමරියගේ සලකුණු සහ උරුමය ඉතා සූක්ෂ්ම හා ගෞරවනීය අයුරින් ඉදිරියට ගෙන යන බවයි.