සමහරුන්ට නම් ඉක්මනින්ම ගෙදර ගිහින් නිදහසේ ඉන්න හදිසි වුණාට, තවත් සමහරු රජයෙන් ඉල්ලන්නේ "අපිට තව වැඩ කරන්න පුළුවන්, ඒ නිසා විශ්‍රාම යන වයස වැඩි කරන්න" කියලලු! මේ විදිහට විශ්‍රාම වයස වෙනස් කරන්න කියලා විවිධ පාර්ශ්වවලින් ලැබෙන ඉල්ලීම් ගැන රජයේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා අලුත්ම ආරංචියක් ඇවිත් තියෙනවා.
මේ බව මාධ්‍යයට හෙළි කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතායි. ඊයේ (12) මීරිගම රෝහලේ වකුගඩුවල ගල් ඉවත් කිරීමේ නව ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ උත්සවයට එක්වීමෙන් පස්සේ තමයි ඇමතිවරයා මේ අලුත් කතාව එළියට දැම්මේ.
සාමාන්‍ය සේවකයින්ට වඩා, මේ ඉල්ලීම් ලැබිලා තියෙන්නේ වෘත්තිකයින්ගෙන් වීම විශේෂත්වයක්. ඇමතිවරයා කියන විදිහට..
අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මහාධිකරණයේ විනිසුරුවරුන්ගෙන්.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තිකයින්ගෙන්.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්.
මේ අයට තමන්ගේ විශ්‍රාම වයස වැඩි කරගෙන තවත් කාලයක් සේවය කරන්න පුළුවන් කියන අදහස තමයි රජයට ඉදිරිපත් කරලා තියෙන්නේ.
"විරුද්ධ වුණත් අපි සලකා බලනවා!"
මේ ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහෙමත් කිව්වා..
"දැනටමත් විවිධ වෘත්තිකයින්ගේ පැත්තෙන් ඉල්ලීම් ලැබිලා තියෙනවා... තවත් වෘත්තිකයින්ගේ මේ විශ්‍රාම යන වයස වැඩි කරගන්න, ඔවුන්ට තව කාලයක් වැඩ කරන්න පුළුවන් කියලා අදහසක් ඇවිත් තිබෙනවා. සමහරුන් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් රජයක් ලෙස ඒ ඉල්ලීම් සලකා බලමින් තිබෙනවා."
තරුණ අයට තැන දෙන්න ඕනේ කියලා එක පැත්තකින් කෑගහද්දී, තවත් පැත්තකින් අත්දැකීම් බහුල නිලධාරීන් තවදුරටත් සේවයේ රඳවා ගන්න රජය මේ ඉල්ලීම්වලට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා මුළු රටම බලාගෙනයි ඉන්නේ. ඉස්සරහට විශ්‍රාම වයසට මොනවා වෙයිද? අපි දිගටම ඇහැ ගහගෙන ඉමු!