හැම වෙලේම ටික්ටොක්, ෆේස්බුක්, යූටියුබ් අස්සේ රිංගගෙන ඉන්න දරුවෝ නිසා දෙමව්පියන් ඉන්නේ ලොකු හිසරදයක. හැබැයි මේ ප්‍රශ්නෙට රජයෙන් තිත තියන්න යන හැඩයි. වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ හෝ දැඩි ලෙස සීමා කිරීමේ පෙරනිමිති දැන් පහළ වෙලා තියෙනවා.
අද (08) පාර්ලිමේන්තුවේදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා අහපු ප්‍රශ්නයකට උත්තර දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ ගැන විශේෂ හෙළිදරව්වක් කළා.
අග්‍රාමාත්‍යවරිය කියන විදිහට, වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කරන්න ජාතික මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන්න රජය සූදානම්. ඒ වගේම දරුවන්ගේ මානසික සෞඛ්‍යය දියුණු කරන්න Brain Health කියන සංකල්පය යටතේ ජාතික මට්ටමේ කතිකාවතක් මේ වෙද්දීත් පටන් අරගෙනලු.
මේ කතාව නිකන්ම නිකන් සැලසුමක් විතරක් නෙවෙයි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනටමත් අවුරුදු 18ට අඩු ළමයි ඉන්න පවුල් ඉලක්ක කරගෙන විශේෂ නියමු ව්‍යාපෘතියක් පටන් අරගෙන. ජංගම දුරකථනවලට ඇබ්බැහි වුණු දරුවන්ව ඒකෙන් මුදවාගන්න හඳුන්වා දීපු මේ ක්‍රමවේදවලින් මේ වෙද්දිත් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවා කියලයි අගමැතිනිය පාර්ලිමේන්තුවේදී කිව්වේ.
"මේක රජයේ ප්‍රමුඛතාවයක් හැටියට අපි මැදිහත්වෙන කාරණයක්. එක ක්‍රියාවකින් අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමාජ මාධ්‍ය තහනම් කිරීම ගැන විතරක් නෙවෙයි, අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගැන කතා කරමින් ඉන්නවා..." අග්‍රාමාත්‍යවරිය එහෙම කිව්වා.
ඇය වැඩිදුරටත් කිව්වේ "Digital Health" කියන කාරණය ගැන විශේෂඥ උපදෙස් අරගෙන, අපේ රටට ගැලපෙනම තීරණ ටික මේ අවුරුද්ද ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා කියලයි.