ගැටුමෙන් බරපතල තුවාල ලබා මීගමුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකුගේ (04) සෞඛ්‍ය තත්ත්වය අද දිනයේදී බෙහෙවින් අසාධ්‍ය වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින මෙම නිලධාරීන් සිව්දෙනාව දැඩි සත්කාර සහ වැඩිදුර විශේෂඥ ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලෙන් වහාම කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා.
දැනටමත් ජේලර්වරයෙකු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුටම ජීවිත අහිමි වී ඇති පසුබිමක, තවත් නිලධාරීන් සිව්දෙනෙකු මෙලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වීම සමස්ත ආරක්ෂක අංශ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද දැඩි ලෙස කණගාටුවට පත් කර ඇති සිදුවීමක්.
මේ අතර, බන්ධනාගාරය තුළ යළිත් එවැනි නොසන්සුන්කාරී වාතාවරණයක් හෝ ගැටුමක් ඇතිවීම වැළැක්වීමේ උපක්‍රමශීලී ආරක්ෂිත පියවරක් ලෙස, මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ව වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරු කර යැවීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කර තිබෙනවා.
1,800කට අධික පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ පවතින දැඩි තදබදය වහාම අවම කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා. ඒ අනුව, එහි සිටින රැඳවියන් විශාල පිරිසක් දිවයිනේ අනෙකුත් ප්‍රධාන බන්ධනාගාර වෙත අදියර කිහිපයක් යටතේ දැඩි ආරක්ෂක රැකවල් මැද රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දැනට පුද්ගලයින් 25 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් 100කට වැඩි පිරිසකට තුවාල සිදු කළ මෙම මහා ගැටුමෙන් පසු, බන්ධනාගාරයේ පාලනය නතු කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඇතුළු අතිරේක ආරක්ෂක බළකායන් තවදුරටත් එහි රඳවා සිටින අතර, සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් මගින් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.