කාටත් රහසේ ගෙදරක කුස්සියක් අස්සේ මහා පරිමාණයෙන් නිධන් හාරමින් හිටපු තුන්දෙනෙක් අද (14) දවල් තඹුත්තේගම පොලිසියට කොටු වුණේ ඒ වගේ කතාවක් රටටම හෙළි කරමින්.
තඹුත්තේගම, බිලිබෑව ප්‍රදේශයේ කුඹුරු යායක් මැද්දේ තියෙන ගෙදරක තමයි මේ ජාවාරම කාටත් හොරා ජයටම කරගෙන ගිහින් තියෙන්නේ. මෙලෙස පොලිස් දැලට කොටු වූ පිරිස අතරේ ගෙදර අයිතිකාරයා වගේම පිටින් ආපු කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයෙක් ඉන්නවා.
මේ අයගේ වැඩේ කොච්චර සූක්ෂමද කියනවා නම්, ගෙදර කුස්සිය ඇතුළේ අඩි 4.5 x 5.5 ප්‍රමාණයේ, අඩි විස්සක් විතර ගැඹුරු මහා දෝනාවක් තමයි මුන් හාරලා තියෙන්නේ. එච්චර ගැඹුරක් හාරද්දී මතු වෙන පස් ටිකට මොකද කළේ දන්නවාද? ඒ පස් කන්දරාවම කාටවත්ම සැක නොහිතෙන්න ඒ ගෙදරම තියෙන වෙනත් කාමරයක් ඇතුළේ රහසිගතව හංගලා තිබිලයි පොලිසිය හොයාගෙන තියෙන්නේ.
පොලිස් විමර්ශනවලින් හෙළිවෙලා තියෙන විදිහට මේ නිධන් හැරීමේ "ප්‍රොජෙක්ට්" එකට ලොකුවටම සල්ලි වියදම් කරලා තියෙන්නේ අත්අඩංගුවට ගත්තු අර කාන්තාව සහ අනිත් පිරිමි පුද්ගලයායි. හැබැයි මේ වැඩේ පිටිපස්සේ ඉන්න ප්‍රධාන මොළකරු වෙනම කෙනෙක්.
මේ අයට නිධානය ගන්න උපදෙස් දීලා, මුළු වැඩේම මෙහෙයවපු ප්‍රධාන සැකකරු ගල්ගමුව, ඇහැටුවැව පැත්තේ කෙනෙක් බවට පොලිසිය දැනටමත් හඳුනාගෙන ඉවරයි. ඔහුවත් ළඟදීම අත්අඩංගුවට ගන්න පොලිසිය දැල් එළලයි තියෙන්නේ.
මේ අය ළඟ තිබිලා නිධන් හාරන්න පාවිච්චි කරපු වතුර මෝටරයක්, වතුර බට, වයර් රෝල්, සවල් ඇතුළු උපකරණ තොගයක්ම මේ වෙද්දී පොලිස් භාරයට අරගෙන තියෙනවා. අත්අඩංගුවට ගත්තු පිරිස තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි. සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ තඹුත්තේගම නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් මේ වෙද්දීත් කරගෙන යනවා.