බල්ලෙක් හැපුවොත් රෝහල් ගානේ රස්තියාදු වෙලා ජලභීතිකා එන්නත් විදගන්න එකත් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඔන්න දැන් මේ ප්‍රශ්නෙට රජයෙන් ස්ථිර විසඳුමක් ගේන්න ලෑස්ති වෙනවා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ මූලිකත්වයෙන්!
පසුගියදා (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මේකට ලංකාවේ අය විතරක් නෙවෙයි, එක්සත් රාජධානියේ සුප්‍රසිද්ධ 'Battersea' සංවිධානයේ සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානයේ (ICAM - UK) විශේෂඥයොත් එකතු වෙලා හිටියා. අගමැතිනිය මෙතනදී පැහැදිලිවම කිව්වේ ජලභීතිකා රෝගය ලංකාවෙන් තුරන් කරන එක වගේම සතුන්ගේ සුබසාධනයත් රජයේ ප්‍රධාන ඉලක්කයක් කියලයි.
මෙච්චර කල් ලංකාවේ කළේ 70%ක එන්නත්කරණ ඉලක්කයක් තියාගෙන වැඩ කරන එකනේ. හැබැයි දැන් ඒක වෙනස් කරලා, කෙටි කාලයක් ඇතුළත උපරිම සුනඛයන් ගාණකට අවුරුදු 3ක් පුරාම පවතින අලුත්ම එන්නතක් ලබා දෙන්නයි යෝජනා වෙලා තියෙන්නේ. මේකෙන් මිනිස්සුන්ට බල්ලෝ හැපුවාම ගහන එන්නත් වලට (PEP) රජයෙන් යන කෝටි ගාණක මුදලක් ඉතුරු කරගන්න පුළුවන්ලු!
මේ වැඩේ නිකම්ම නිකන් කතා කරලා අතාරින්න නෙවෙයිලු යන්නේ. පළමුවෙන්ම බස්නාහිර පළාතෙන් පටන් අරන් ඊටපස්සේ මුළු රටටම මේක ව්‍යාප්ත කරන්නයි සැලසුම. මේ වැඩේ හරියටම වෙනවද කියලා බලන්න විශේෂ 'ජනාධිපති කාර්ය සාධක බලකායක්' (Presidential Task Force) හදන්නත් මෙහිදී අවධානය යොමු වෙලා තියෙනවා.
ලංකාවේ පශු වෛද්‍යවරුන්ගේ ලොකු අඩුවක් තියෙනවනේ. ඒකටත් නියම විසඳුමක් මේ සාකච්ඡාවේදී යෝජනා වෙලා. ඒ තමයි පළාත් පාලන ආයතන වල ඉන්න සේවකයින්ට හරියටම පුහුණුවක් දීලා එන්නත්කරණ වැඩේට එයාලව යොදාගන්න එක. ඒ වගේම ගුණාත්මක බවින් ඉහළ එන්නත් පාවිච්චි කරන ගමන් ඒවා නිසි උෂ්ණත්වයෙන් (Cold chain) තියාගන්න මධ්‍යම රජයෙන් විශේෂ අධීක්ෂණයක් කරන්නත් තීරණය වෙලා.
බ්‍රිතාන්‍ය විශේෂඥයින් වන Roxanne Sahar Nazir, Dr. Elaine Francisca Hiby, Dr. Eric Joseph Brum, Patrick Gerard සහ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය Dr. M. Ijas යන මහත්ම මහත්මීනුත් මේ දැවැන්ත සාකච්ඡාවට සහභාගී වෙලා හිටියා.
කොහොම වුණත් මේ වැඩපිළිවෙළ හරියට ක්‍රියාත්මක වුණොත් මහ පාරේ ඉන්න අහිංසක සත්තුන්ට වගේම, බල්ලන්ට බයේ පාරේ යන අපේ ජනතාවටත් ලොකු සහනයක් වෙයි!